Monday, May 25, 2020 |

පින්බර වූ වෛශාඛ්‍ය මංගල්‍යය...







පුදමු බුදු හිමි පා යුග මනරම්
අසමු ඒ බුදු සමිදු දෙසු සදහම්
සරමු ඒ දම් මාවතේ දැහැමින්
නිවෙමු සැනසෙමු
එතෙර වෙමු සසරින් .......................
ලෝවාසී සියලු සත්වයන්ට සසර කතරින් එතෙර වීමට මාවත විවර කරාවූ බුදුපියාණන් වහන්සේගේ ඉපදීම, බුදු වීම,පිරිනිවන් පෑම යන මංගල කරුණු රැසකින් පූජනීයත්වයට පත් වීම මුල් කර ගනිමින් ලෝකය පුරා සිටින බෞද්ධ - අබෞද්ධ සියලු ජනතාව වෙසක් පෝ දිනය මහත් උත්කර්වෂවත් අන්දමින් සමරනු ලබයි. ඒ දාන, ශීල, භාවනා ආදී ප්රතිපත්ති පූජාවෙන් හා වෙසක් සැරසිලි, තොරණ, වෙසක් බැති ගී ගායනා, වෙසක් දන්සැල් ආදී ආමිස පූජාවෙනි.
වෙසක් යන වචනය සෑදී ඇත්තේ විශාඛ යන සංස්කෘතික වචනයෙනි. දැනට ලංකාවේ ජ්යෝතිෂයේ භාවිත වන නැතක් විසිහතෙන් දහසය වන නැකත වන විසා නැකත පාදක කරගනිමින් මේ නම භාවිත වේ. වෙසක් පෝය යනු සඳ විශාඛ නැකතට අයත් තරු පන්තියට ආසන්නව උදාවන පුන් පෝ දිනයයි. නමුත් සෑම රටක්ම වෙසක් දිනය තීරණය කරන්නේ එකම ආකාරයෙන් නොවේ. තායිලන්තයේ වෙසක් මාසය තීරණය කරනු ලබන ක්රමයට අනුව වෙසක් පෝ දිනය වන විට සඳ විශාඛ නැකතට පැමිණ අවසන්ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙසක් මාසය සමරන්නේ තායිලන්තය වෙසක් සමරන දිනයේය. බොහෝ වර්ෂවල මෙම දින සමපාතව යෙදෙන අතර වසර හයකට වරක් පමණ මෙය වෙනස් වේ.
බෝසතාණෝ සුද්ධෝදන මහ රජතුමා හා මහමායා දේවියගේ පුත්ව කිඹුල්වත් නුවර ලුම්බිණි සල් උයනේ දී උපත ලැබුවේ වෙසක් පුන් පෝ දිනයේය. ලෝකාර්ථය සලසන හෙයින් සිද්ධාර්ථ වූ බෝධිසත්වයෝ සත්පියුම් මත සිට ''මම ලොවට අග්ර වෙමි. මම ලොවට ශ්රේෂ්ඨ වෙමි. මම ලොවට ජ්යෙෂ්ඨ වෙමි. මේ මාගේ අවසාන උපතයි. නැවත උපතක් නැත.'' යනුවෙන් අභීත ස්වරයෙන් සීහ නාදය පැවැත්වුවේය.
අධික කම් සැප විදීම අත්හළ උන්වහන්සේ අත්තකිලමතානුයෝගී අනුගමනය කළසේක. එහි ද නිෂ්ඵලතාව අවබෝධ කරගත් උන්වහන්සේ මැදුම් පිළිවෙත අනුගමනය කර බුද්ධගයාවේ ඇසතු බෝ මුල වැඩසිට වෙසක් පුන් පෝ දා සියලු කෙලෙස් නසා උතුම් වූ බුද්ධත්වයට පත් විය.
සුද්ධෝදන පිය රජුගේ ආරාධනය අනුව විසි දහසක් භික්ෂූන් පිරිවරාගෙන කිඹුල්වත් නුවරට උන්වහන්සේ වැඩම කරන ලද්දේ වෙසක් පෝ දිනයේය. එහිදී තම ඥාතීන් වූ ශාක්යන්ගේ මානය දුරු කරමින් යමාමහ පෙළහර දක්වන ලද්දේ ද පින්බර වෙසක් පුන් පෝ දිනයේය.
කිසා ගෝතමිය විසින් නිබ්බුත පද ගායනා කරමින් බුදුන් වහන්සේගේ ගුණ ගායනා කරන ලද්දේ ද උතුම් වූ වෙසක් පෝ දිනයේය.
මල්ල රජ දරුවන්ගේ උපවර්තන නම් සල් උයනෙහි යමක නම් සාල වෘක්ෂයන් අතරෙහි පනවන ලද ආසනයෙහි හිද භික්ෂූන් අමතා සියලු සංස්කාර ධර්මයන් අනිත්ය හෙයින් අප්රමාදව ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ක්රියා කරන්නැයි දේශනා කර වෙසක් පුන් පෝ දා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ සේක.
දීපංකර බුදුන් වහන්සේ ප්රමුඛ සංඝරත්නය රඹගම් නම් පුරයට වැඩම කරන අවස්ථාවේ පඤ්චාභිඥා සහ අෂ්ඨ සමාපත්තිය උපදවා සිටි සුමේධ තාපසතුමා දීපංකර බුදුන් වහන්සේගෙන් ප්රථම නියත විවරණ ලබන ලද්දේ වෙසක් පෝ දිනයේය.
එසේම අග්ර උපස්ථායක වූ ආනන්ද රහතන් වහන්සේ පිරිනිවන් පෑවේද වෙසක් පෝ දිනයේය.
ලාංකිකයින් වන අපට වඩාත් වැදගත් වන්නේ බුද්ධත්වයෙන් අට වන වර්ෂයේ දී තෙවන වරට මණිඅක්ඛිත නා රජුගේ ඇරයුමෙන් කැලණියට වැඩම කිරීම හා එහිදී සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සිරිපාද පද්මය පිහිටුවා තෙවන වරට ද ලංකාව පුන්ය භුමියක් බවට පත් කිරීමය. එහිදී දිවා ගුහාව, දීඝවාපිය, මුතියංගනය ආදී ස්ථාන දාහතරකට බුදුපියාණන් වහන්සේ වැඩම කළ සේක.
පිරිනිවන් මංචකයේ සැතපී සිටි බුදුන් වහන්සේ ලොව බලද්දී සත්සියක් පිරිස සමඟ ලංකාපුරයට පැමිණෙන විජය කුමරු ඇතුලු පිරිස දුටු බවත් මේ පිරිසට ආක්ෂාව ලබාදෙන ලෙස සක්දෙව් රජුට නියම කළ බව පුරාවෘත්ත වල සඳහන් වේ.
ධර්මාශෝක අධිරාජ්යයා විසින් දෙවන පෑතිස් රජු වෙත එවන ලද පංච කකුධ භාණ්ඩ සහිතව දෙවන වරට අභිෂේක ලබා දීම, දුටුගැමුණු රජු රුවන්වැලි මහා සෑය ඉදිකිරීම් කටයුතු ආර්ම්භ වන්නේද එසේම ශ්රීපාද වන්දනාවේ යෙදෙන අවසාන පෝය වන්නේද මේ වෙසක් පුන් පෝ දිනයයි.
මහා විහාරවංශික භික්ෂූන්ගේ වර්ෂයක් පාසා පවත්වනු ලබන උපසම්පදා මහෝත්සවය ප්රථමවරට පැවැත්වීම ආරම්භ වන්නේ ද මෙම පුන් පෝ දිනයේය.
වෙසක් පෝ දිනයේ දී ප්රත්පත්ති පූජාවට මුල් තැන දෙමින් ලෝකය පුරාම උත්සවාකාරයෙන් සමරනු ලබයි. සියලු ලෝ වාසීන් අතරින් දකුණු ආසියානු හා අග්නිදිග ආසියාතික රටවල් වෙසක් පුන් පෝ දිනය අති උත්කර්ශවත් ලෙස සමරනු ලබයි. ශ්රී ලංකාව, නේපාලය, තායිවානය, හොං කොං, ඉන්දුනීසියාව, වියට්නාමය, තායිලන්තය,සිංගප්පූරුව, මියන්මාර්, මැලේසියාව ආදී ආසියාතික රටවල් මෙම උතුම් දිනය ප්රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් කර ඇත.
යටත් විජිත සමයේ ජාතික නිදහස වෙනුවෙන් සටන් කළ අපේ මුතුන් මිත්තන්ට වෙසක් පෝ දිනය සැමරීම අධිරාජ්යවාදීන් විසින් තහනම් කරන ලදී.
1885 දී ඕල්කට්තුමා ආනන්ද කුමාරස්වාමී ආදී වූ දේශයේ උන්නතිය සඳහා උරදුන් වීරන්ගේ වෑයමෙන් මෙම තහනම ඉවත් තරන ලදී. 1886 දී වෙසක් දිනයේදී බෞද්ධ කොඩිය ප්රදර්ශනය කළ අතර එය රටවල් 60 ක පමණ භාවිත වේ.
1999 වසරේ සිට වෙසක් පුන් පෝ දිනය ජාත්යන්තර නිවාඩු දිනයක් බවට පත්තරන ලද්දේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ හිටපු මහා නායක උඩුගම සද්ධර්ම කීර්ති ශ්රී බුද්ධරක්ඛිත මාහිමියන් වහන්සේගේත්, එවකට හිටපු විදේශ ඇමති වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේත්, එවකට නියෝජ්ය විදේශ ඇමති වූ ලක්මන් කිරිඇල්ල මහතාගේත් මහත් වූ පරිශ්රමයෙනි. මෙවර ජාත්යන්තර වෙසක් සැමරුම රටවල් 80 ක නායකයන්ගේ සහභාගිත්වයෙන් දින තුනක් පුරා පැවැත්වේ.
උක්ත දැක්වූ පරිදි පින්බර වූ වෙසක් පුන් පෝ දිනය ලෝවාසී ජනයාට උතුම් වූ ආගමික පූජනීය දිනයකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර වූ ඓතිහාසික ශාසනික වටිනාකම සිහිපත් කරන දිනයකි. අප විසින් අනුගමනය කළ යුතු මාර්ගය බුදුන් වහන්සේ අපට පෙන්වා දී ඇත. සීලය ,සමාධිය, ප්රඥාව උසස් කිරීමට කටයුතු කළ යුතුය. මනුෂ්ය ජීවිතයේ උසස් ප්රතිඵල ලබා ගැනීමට පිළිවෙතින් සැරසිය යුතුය.
බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ තමන් වහන්සේ පිදිය යුත්තේ මලින්, පහනින් පමණක් නොව ධර්මයට අනුව ජීවත් වීමෙන් බවය. මනස සංවර්ධනය කර ගනිමින් තමන්ගේ ජීවිතය අර්ථවත් ලෙස ධර්මයට අනුව ගත කරන්නේ නම් එය තමන් වහන්සේට වන්දනාමාන කිරීමක් ලෙස බුදුන් වහන්සේ දේශනා කළ සේක. එබැවින් වෙසක් දිනය සැමරීම සිදුවිය යුත්තේ ඒ ආකාරයෙනි.

0 comments:

Post a Comment