Wednesday, May 31, 2017 |

සමාජය නාම මාත්‍රිකව පීතෘ මූලික වුවත් එය තත්වාකාරයෙන් මාතෘ මූලිකයි....



පිය සෙනෙහසට කවි ගී ලියවුණා මදි ද?  

පියවරුන්ගේ ගුණ වර්ණනා කිරීමට දින දර්ශනයේ ජූනි 21 දා වෙන් වී තිබුණත් එය මුළු ලෝකයම මව්වරුන්ගේ දිනය සමරනවා මෙන් ඉතා ඉහළින් සමරන බවක් දක්නට නොලැබේ. දරුවන් වෙනුවෙන් රුධිරය කිරි බවට නොහැරුණාට මවක් සේම පියවරුද දරුවන්ගේ අභිවෘද්ධිය  ගැන වෙහෙසෙන්නේය. ඔවුන් තුළ ඇත්තේ මතුපිටට නොපෙනෙන ස්නේහයකි. එහෙත් ඇතැම් දරුවන් තුළින් වර්තමානයේ දෙමව්පියන් කෙරෙහි පැවතිය යුතු සෙනෙසහ බොඳවී ඇත. ඒ බව වඩාත් ඔප්පු වූයේ මෑත කාලයේ දී තම දෙමව්පියන් මහමඟට ඇද දමන පුවත් බොහෝමයක්  අසන්නට ලැබීම හේතුවෙනි. මෙසේ  තම මව්පියවරුන් මහ මඟට ගොස් දමන බොහෝ දරුවන් විශාල මුදලක් වැය කරමින් කිරිපිටි, බෙහෙත්, ෂැම්පු , පවුඩර් ලබාදී  සතිපතා සත්ව සායන වලට ගෙන යන සුරතලා සමඟ හැන්දෑවට ජොගින් යන්නේ තම සමාජ පන්තිය නිරූපණය කිරීම පිණිසය. අද්‍යතනයේ දී ලංකාවේ සංස්කෘතික ගතිකයන් සිදු වෙමින් ඇත්තේ මේ අයුරුනි. ඒ නිසාම පසුගියදා බලු කූඩුවක ජීවත් වීමට සිදු වූ පියෙක් පිළිබද අසන්නට ලැබුණේ ඒ පියාට වඩා පුද සත්කාර බොහෝ නිවෙස්වල ඉන්නා බල්ලන් හා බළලුන් විසින් ලබන බැවිනි.

සුදොවුන් රජතුමාට බුදු පියාණන් වහන්සේ, නන්ද කුමාරයා හා රාහුල කමාරයා අහිමි වූ බැවින් සොවින් බුදුන් වෙත ගොස්   “ස්වාමිනී පියෙකු තුළ ඇති මේ දරු පෙම සම්, මස්, නහර ඇට, ඇට මිදුලු සිඳ යන්නේය.” යනුවෙන් පැවසූ බව සදහන් වේ. නමුත් අද සුදොවුන්ලාගේ සෙනෙහස වෙනස් නොවී ඇතිමුත් ඔවුන්ට දරුවන් වෙතින් පෙරළා කිසිදු සෙනෙහසක් හිමි නොවේ.

මවගේ ඩිම්බකෝෂයේ පියාගේ ශුක්‍රාණුව තැන්පත් වීමෙන් දරුවා බිහි වූ මොහොතේ පටන් දරුවා පිළිබඳ හටගන්නා වූ  ස්නේහය අපරිමිතය. දස මාසයක් කුස දරාගෙන ලේ කිරිකර පොවා අම්මා දරුවා හදාගත්තද තාත්තාගේ රුධිරය කිරි නොවුණත් දරුවන් පිළිබඳ තිබෙන ආදරය මවකගේ සේම බලවත්ය.

“මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ - පුදුමයි පුතුනි කිම මගේ ලේ කිරි නොවුනේ....”

සියලු අම්මාවරුන්ගේ ප්‍රාර්ථනාවන්ට ආශිර්වාද දෙන්නේ පියවරුන්ය. විනිවිද දක්නට නොලැබෙන පියවරුන්ගේ ආදරය අසීමිතය.

එදා පියවරු මහ රූස්ස කැලෑ එළිකළ ඈත මෑත නොපෙනෙන බිමක බෝග වගා කිරීමේ දී  අප්පච්චීගේ තනියට හේනට යන්නේ පුතුන්ය. පිය පුතු ස්නේහය අතීතයේදී වර්ධනය වූයේ ඒ අයුරිනි. පියා පමණක් ගෙනයන පවුල් බරට පුතුන් උරදුන්නේ මහත් සෙසෙහසිනි. පවතින සමාජ ක්‍රමය විසින් මේ සම්බන්ධතාවය දුරස් කරනු ලැබුවේද යන්න අප සමාජය වෙතින් විමසිය යුතු පැනයකි.

එක්තරා අතකින් මේ සඳහා නව තාක්ෂණියේ  ආගමනය ද බලපෑ ඇති බව කිව හැකිය. එනම් අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය වලට වර්තමානයේ බොහෝ දරුදැරියන් ඇබ්බැහි වී සිටින බැවින් ඔවුන් පවුලේ සාමාජිකයන් සමඟ පවත්වනු ලබන සම්බන්ධතාවන වල දුරස්ථ ස්වභාවයකට පත්ව තිබේ. එසේම මෙම තත්ත්වය දරුවන්ගේ පාර්ශවයෙන් මෙන්ම දෙමව්පියන්ගේ පාර්ශවයෙන් ද අවධානය යොමු කළ යුතු තත්ත්වයකි. මන්ද යත් දරු දැරියන් මෙන්ම ඇතැම් පවුල් වල මව හා පියාද සමාජ මාධ්‍ය නිරන්තරයෙන් භාවිත කිරීමට පුරුදු වී සිටින බැවිනි. කෙසේ වුවත් මෙම තත්ත්වය ඔසසේ අතිශය ඛේදනීය සිදුවීම් පවා ඇතැම් අවස්ථාවල වාර්තා වී ඇති අතර මෙහිදී මාගේ මතකයට නැඟෙන එවැනි  එක් සිදුවීමක් සම්බන්ධයෙන් මෙසේ සඳහන් කළ හැකිය.

එනම් මෙසේ සමාජ මාධ්‍ය භාවිතය සඳහා ඇබ්බැහි වී සිටි එක්තරා පවුලක පියෙක් හා දියණියක් ඔවුනොවුන් පියා හා දියණිය බව නොදැන සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් තුළදී දින ගණනාවක් පුරා සංවාද ඇසුරින් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබේ. එකම නිවසක ඔවුන් වාසය කළත් කාමර දෙකකට වී ඔවුන් අන්තර්ජාලය තුළ ගොඩනංවාගෙන සිටි ව්‍යාජ අනන්‍යතාවන් ඔස්සේ මෙම සම්බන්ධය දුර දිග ගොස් අවසානයේ එක්තරා ලැගුම් හලකදී හමුවීමට කතිකා කර ගෙන තිබේ. අනතුරුව පියා ලැගුම් හලට ගොස් ඔහු විසින් අන්තර්ජාලය තුළදී සම්බන්ධතාවක් ගොඩනඟා ගත් තරුණිය පැමිණෙන තුරු බලා සිටි අතර එම තරුණිය පැමිණ ලැගුම් හලේ කාමරයේ දොරට තට්ටු කිරීමේ දී පියා විසින් දොර විවෘත කළ පසු තමා මෙතෙක් කලක් අන්තර්ජාලය ඔස්සේ අනියම් සම්බන්ධතාවක් පැවැත්වූයේ තමාගේම දියණිය සමඟ බව දැනගත් නිසා ඔහු සියදිවි නසා ගැනීමට කටයුතු කර තිබේ. එසේම තමාගේ පියා සමඟ පෙම්වතෙකු සමඟ මෙන් ලිංගික සංවාදයේ යෙදුණු එම දියණිය මානසික රෝහලකට ඇතුළත් කළ බවද සඳහන් විය.

එසේම ඇතැම් පියවරුන්ට යම් යම් අවාසනාවන්ත තත්ත්ව වලය මුහුණ දීමට සමාජ අර්ථ ක්‍රමය බෙහෙවින් බලපා ඇති බවද පැවසිය හැකිය. එනම් පීතෘ මූලික සමාජයේ පියාට හිමි ගෘහ මූලිකත්වය ඡන්ද නාම ලේඛනයට පමණක් සීමා වී ඇත. සමාජය නාම මාත්‍රිකව පීතෘ මූලික වුවත් එය තත්වාකාරයෙන් මාතෘ මූලිකය. මන්ද යත් නිවසේ සියලු තීන්දු තීරණ ගන්නේ මව විසින් වන බැවිනි. එසේම මේ තත්වය නිසා කුටුම්බය තුළ පියාට හිමි විය යුතු ගෞරවය අහිමි වීමට සියලු මව්වරු වගකිව යුතු වන බවද සදහන් කිරීම වැදගත්ය. තමා ස්වාමිපුරුෂයාට වඩා තමා ඉහළ වැටුපක් ලබා ගත්තද ඔහුට හිමිවිය යුතු ගෞරවය හිමිවිය එලෙසින්ම හිමි විය යුතුය. මන්ද යත් දරුවන්ගේ ලෝකය තුළ පියා වීරයෙක් කළ යුතු විනා ඔහු මවගේ දාසයෙක් හෝ අතවැසියෙක් නොවිය යුතුය.  

මීට පෙර පැවති සමාජ  කුමය තුළ පියාට ඍජුවම තම අවශ්‍යතා ඉදිරිපත් නොකළ අතර එය මවගේ මාර්ගයෙන් ඉදිරිපත් කළද අද එම සම්බන්ධතා ව්‍යුහය වෙනස් වී ඇත.

කෙසේ වුවත් මුදල් උපයා දී අවශ්‍යතා ඉටුකරන්නේ පියා වුවද එහි ප්‍රතිලාභ වූ ස්නේහය ලබා ගැනීමට මවුවරුන්ට අවස්ථාව සැලසී ඇත.

පියවරුන්ට සම්බන්ධයෙන් මෙම තත්වය ඇති වීමට ප්‍රධාන ලෙස බලපා ඇත්තේ සියලු වටිනා  වස්තූන් නාමකරණයේදී මව් පදවියට දී ඇති සන්නාමයයි. ඒ අනුව මව් රට, මාතෘ භූමිය, පාසල් මෑණිය ලෙස ව්‍යවහාර කිරීම මේ තත්වය ඇති වීම සදහා බලපා ඇති බව කිව යුතුය.

මෙසේ පිය සෙනෙහසට අඩු තක්සේරුවක් හිමිවීම පියවරුන්ගේ අවාසනාව වුවත් සමස්ත සමාජයම මේ අවාසනාවට වගකිව යුතු වන බව අවසාන වශයෙන් සදහන් කළ යුතුය.



3 comments:

ලිඛිතා said...
This comment has been removed by the author.
ලිඛිතා said...

වඩාත් ආදරේ ඇති නිසා වැඩියෙන් කවි ලියවෙනවා කියන තර්කයම මම හිතන්නේ මුලාවක්. ගැහැනුන් ගැන ඔතරම් කරුණාබර, ආදරබර කවි;සිංදු ලියලා මොකද මෙතරම් ස්ත්‍රී දුෂණ වැඩි?

ආසියාතික පවුල් මාතෘ මුලිකයි ඒ කාලෙත්, අදත්. ඉස්සර කාලේ තාත්තලා ළමයි මොනවා කරනවද කියලා මෙලෝ දෙයක් දන්නේ නැහැ. දැන් ඊට වඩා දරුවන්ගේ වැඩවලට තාත්තලා සහභාගී වෙනවා. මුදල් වියදම් කරනකොට ගොඩක් වෙලාවට පිතෘමුලික නොවෙන්න ඉඩ තියෙන්නේ, අම්මාත් දැන් මුදල් උපයන කෙනෙක් නිසා. ඒකනේ 'අම්මා නොමැති කලේ... අප්පා කවර කලේ' කියලත් කියන්නේ.

කොහොම වෙතත්, එක පිඬකට ගන්න බෑ දෙන්නගෙම ආදරේ!

අරු said...

පිතෘ මුලික කියන්නේ පිරිමින්ව සතුටු කරන්න.. හුඟක් ගෙවල් වල බලන්න අම්මා උපයනවා.. ගෙදර ආර්ථික සංවර්ධනයට දායක වෙන්නෙත් අම්මා..ඉතින් ඒ පවුල් අනිවාර්යයෙන් මාතෘ මුලික වෙන්න ඕනා තමයි...
ඔබගේ ලිපි අනර්ඝයි... සුභ පතනවා ඉදිරියට යන්න.

Post a Comment