Monday, May 25, 2020 |

සැනසෙන් දියණියනේ




තාත්තෙක්ට පුලුවන්ද දුවෙකගේ ඇහෛන් වැටෙන කඳුලු මුතු බවට පත් කරන්න. ඒ මුතු ඇට දුවගේ කනේ පළදන්න....
ඔව් පුුලුවන්, එහෙම කිව්වේ රේඩියෝවෙන් ඇහුණු සිංදුවක .
ඒ නන්දා මාලනීයගේ ආත්මීය හඬින් කියන සුරංගනා කතාවක්. තම දියණිය පිළිබඳ හටගත් දාරක ස්නේහය පද රචනා කරලා තිබුණේ ප්රේමකීර්ති ද අල්විස්.
මේ සුරතල් දියණිය 'සුරංගී' ය. පියෙකුගේ සුරතලියක්. සුරංගීට දුක හිතිලා අඬනවා.
සුරංගනා කතාව පටන් ගන්නේ එතැනින්.
සුරංගීට දුක හිතුණා
යටි තොල කණපිට හැරුණා
මුහුණ රෝස පාටින් පිරුණා
කඳුළු පේළියක් වැටුණා
ඇගේ මුහුණ රතු වෙයි. යටි තොල කණපිට පෙරලෙයි. කුඩා දරුවන් හඬන විට මුහුණේ මෙවැනි විපර්යාසයන් කිහිපයක් සිදු වේ.
මලක් වන් දියණියගේ හැඬුම පියාට වේදනාව ගෙන දෙන්නකි.
වැස්සක් අහසින් හැළුණා
ගඟට කඳුළුබිඳු එකතු වුණා
කැලේ මැඳින් ගඟ ඇදුණා
ඒ ගඟ මුහුදට වැටුණා
සුරංගී හෙමින් හෙමින් පටන්ගත් ඇඬුම කෙමෙන් කෙමෙන් වැඩි වෙයි. ඒ පොඳ වැස්ස නොකඩවා ඇඳ හැලෙන වැස්සක් බවට පත් වෙනවා මෙනි. සුරංගිගේ කඳුළු බිංදු - වැස්සට එක් වෙයි - වැහි බිංදු ගඟට එක් වෙයි- ගඟ වතුර මුහුදට ගලාගෙන යයි.
බාලක ලෝකයට ගැලපෙන සරල භාෂාවක් ගීතය පුරාම ඇත.
මුහුදේ පතුලට කිඳුණා
මුතුබෙල්ලෙකු කුස රැඳුණා
දවස් ගණන් එහි තිබුණා
ඒ කඳුලින් මුතු හැදුණා
ගඟ මුහුදට වැටෙයි. සුරංගිගේ කඳුළු බිංදු මුහුදු පතුලේදී මුතු බෙල්ලෙකුගේ බඩට යයි. ඒ කඳුළු බිංදු මුතු ඇට බවට පත් වෙයි.
මේ දාරක කල්පනාව ගොඩනැගෙන්නේ පියාගේ හිත තුළයි. පියෙකුට පුළුවන්ද තමන්ගේ දියණියගේ කඳුළු මුතු ඇට බවට පත්කරන්න.
ඔව් පුළුවන්. ඒ නිසා තමයි සෑම දියණියකටම තම පියා වීරයෙක් වන්නේ. මේ සුරංගනා ලෝකයෙන් ඔබ්බට දකින සමාජ යථාර්ථය එයයි.
සෑම දියණියකගේම සාර්ථකත්වය පිටුපස සිටින යෝධ සෙවනැල්ල පීතෘත්වයයි.
මුතු කැට ගොඩට ගෙනා
කරාබු යුවළක බැඳුණා
ඒ කරාබු ගෙදර ගෙනා
සුරංගීට දැන් හරිම හිනා
සුරංගීගේ කනට තෝඩු පළඳවන දිනය පැමිණේ. ඇය පළඳින මුතු ඇගේම දෑසින් වැටුණු කඳුළු බිඳුය . " සුරංගීට දැන් හරිම හිනා"
"කන විදින වෙලේ කඳුළු ගඟේ පතුල බැලූ දූ - අද සතුටු ගඟේ හිනැහෙනවා දාලා කරාබු - හායි දාලා කරාබු"
ඒ හෙන්රි කල්දේරා ගායනා කරන සුදු දෝනි තුෂාරි කනට තෝඩු පැළඳි දිනයයි.
කනට තෝඩු පළඳවනා
කන්පෙති කටුවෙන් විදිනා
දවසක් එන බව හැඟුණා
තාත්තාට දුක හිතුණා
සුරංගීට සතුටකුත් - තාත්තාට දුකකුත් දැනෙයි. දුක - සතුට තීව්රරව නිරූපිත වී ඇත. තෝඩු පැළඳි දියණිය තරුණියක වන්නේය, ඒ තරුණිය වෙනත් පුර්ෂයෙකුගේ ආදරය ලබන්නේය. තරුණියක් තම සහකරුවා තුළින් පියා දකින්නට උත්සහ කරන්නේය .
සුරංගීද අනාගතයේ තමා හැර යයි. 'තාත්තාට දුක හිතුණා' සාම්ප්රදායික සුරංගනා කතාවල අවසානයේ දුකට පත්වන්නෙක් නැත.
නමුත් සුරංගීගේ කතාවේ තාත්තාට දුක හිතෙයි.
දරුවන් ඇස කඳුලින් ලය
උණුවන මිනිසුන්නේ
සරණින් ලොව කොතැනක වුව
සැනසෙන් දියණියනේ
දයාසේන ගුණසිංහ ' එතෙර ගිය පොඩි දුවට ' ලියූ පැඳි පෙළක තම දියණියට මෙසේ අමතා ඇත. දියණියන් සැනසෙන්නේ පියවරුන්ගේ ලෝකයේය.
-නිසංකා සන්දීපනී-
2020/04/16

0 comments:

Post a Comment