‘‘ඔබ සැළසුම් කරන්නේ
වසරකට නම් ධාන්‍යය වපුරන්න.
ඔබ සැළසුම් කරන්නේ දශකයකට නම් ගස් සිටුවන්න.
ඔබ සැළසුම් කරන්නේ ජීවිත කාලයටම නම් ජනතාවට
අධ්‍යාපනය දෙන්න’’
මේ වන විට අධ්‍යාපනය පිළිබඳ විවිධ කතිකාවන්
ඇති වී ඇත. මිනිස් සමාජයේ යහපත වෙනුවෙන් විධිමත් අධ්‍යාපනයත් අත්‍යවශ්‍ය වේ. අධ්‍යාපනයේ
සැබෑ අරමුණ විය යුත්තේ සෑම දරුවෙක්ටම තමන් ජීවත් වන සමාජයේ යහපත වෙනුවෙන්
විචාරශීලීව හා ප්‍රතිපත්තිගරුකව සංස්කෘතිය හා සදාචාරය සුරැකෙන අයුරින් ජීවිතය
හැඩගස්වා ගැනීමට අවැසි බුද්ධිමය හා භාවමය ශක්‍යතාව ජනිත කිරීමයි. නිදහස් අධ්‍යාපනයේ
මූලධර්ම වලට අනුව ලංකාවේ සියලුම දූ දරුවන්ට නිදහස් අධ්‍යාපනය හිමි වී ඇත. පෙරදිගින්
දර්ශනය හා බටහිරින් දර්ශනයත් කැටි කොට අධ්‍යාපනය හැඩගැසී ඇති අතර පාසල යනු ඒ
දර්ශනය ලබා දෙන්නා වූ නිවස වේ.
ලංකාවේ අධ්‍යාපනයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ
1931-1934 කාලයයි. එම
කාල සමයේ දී ග්‍රාමීය අධ්‍යාපන ක්‍රම නඟා සිටුවීමට පාසල් දන්ත වෛද්‍ය සේවය ඇති
කිරීම, දිවා ආහාරය
දීමේ වැඩපිළිවෙල (1935),සංවිධානාත්මක
කාල සටහන් ක්‍රමය, මධ්‍ය මහා
පාසල් ප්‍රාදේශීය මට්ටමින් ඇති කිරීම (1939), අධ්‍යාපනයේ සම අවස්ථා
සැලසීමේ සංකල්පය, පාසලට ඇතුළත්
වී විශ්ව විද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපනය ලබා දීම (1946), මව් බසින්
ඉගැන්වීමේ යෝජනාව (1946) වැනි පියවර ගණනාවක්
ක්‍රියාත්මක විය.
ලංකේය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විවිධාකාර වූ
පාසල් වර්ග දක්නට ලැබෙන අතර ඒවා ඉසුරු පාසල්, ජාතික පාසල්, නවෝද්‍යා පාසල්, ප්‍රථමික
පාසල්, කණිෂ්ඨ පාසල්, ජාත්‍යන්තර
පාසල් ආදී වශයෙන් හඳුනාගත හැකිවේ.එසේම දෙමව්පියන්ගේ ආර්ථික ශක්‍යතාව, සමාජ පසුබිම, දේශපාලන
සම්බන්ධතා හා දරුවාගේ අධ්‍යාපන කෞෂල්‍ය ආදී සාධකයන් මත දරුවා අධ්‍යාපනය ලබන පාසල
තීරණය වේ.
මේ අතරින් ජාත්‍යන්තර පාසල්වල ඉගෙනීමට අවශ්‍ය
වන්නේ ආර්ථික ශක්‍යතාව පමණි. නමුත් ධනපති පන්තියේ දූ දරුවන් පමණක් නොව බොහෝ මධ්‍යම
පාන්තික දෙමව්පියන් තම සමාජ තත්ත්වය නිරූපණයට දරුවන් මෙකී ජාත්‍යන්තර පාසල් වෙත
යොමු කරයි.
අධ්‍යාපන අමාත්‍යංශයේ සෘජු අධීක්ෂණය යටතේ හෝ
එසේ නොමැතිව පවත්වාගෙන යන ජාත්‍යන්තර
පාසල් සෑම නගරයකම පාහේ දක්නට ලැබේ. මෙම ලිපිය ලිවීමට මුල් වූයේ මහරගම ප්‍රදේශයේ
පවතින එවැනි උසස් ජාත්‍යන්තර පාසලක් දුටු මොහොතේය. එහි පැවති තත්ත්වය මෙරටේ පාසල් වල පැවතිය යුතු
ප්‍රමිතිය සම්බන්ධයෙන් වගකිව යුත්තන්ගේ
අවධානය වැඩි වශයෙන් යොමු කිරීමේ අවශ්‍යතාව ඉස්මතු කළ බව පැවසිය හැකිය.
ප්‍රධාන නගරයන්ගෙන් බැහැරව පවතින බොහෝ ජාත්‍යන්තර
පාසල් පිහිටි භූමි හා ගොඩනැඟිලි පාසල්
පරිසරයකට නුසුදුසු තත්ත්වයෙන් පවතී. හොඳම දේ දරුවන්ට යනුවෙන් 1917 සාර් පාලනය
පෙරළා දැමූ වී. අයි. ලෙනින් පවසා ඇත.
“සීනුව වදින තුරා
මුලු පාසල් මිදුල පුරා
වැලි දූලි නාන......”
ඒ අනුව මහරගම ප්‍රදේශයේ එක්තරා ජනප්‍රිය ජාත්‍යන්තර
පාසලක් පවත්වාගෙන යන්නේ නිවසක් වැනි ගොඩනැඟිල්ලකය. පන්තිකාමර පවත්වාගෙන යන්නේ කුඩා
කාමරවලය. මේ රජයෙන් නොමිලේ ලබාදෙන අධ්‍යාපනය වෙනුවට දෙමව්පියන් විසින් මුදල් ගෙවා
ලබාදෙන අධ්‍යාපනයේ ස්වරූපයයි.
ජාතික අධ්‍යාපන කොමිසන් සභාවේ 1992 වර්ෂයේ දී පළ වූ
වාර්තාවේ යෝජනාවට අනුව නිපුනතාවන් 5ක් දක්වා ඇත. එය අධ්‍යාපන මනෝ විද්‍යාවට හා
ළමා සංවර්ධන අවධීන්ට අනුකූලව විෂය පථ 13 කට අනුව
සකසා ඇත.
1. සන්නිවේදනය පිළිබඳ නිපුනතාව
2. පරිසරයට අදාල නිපුනතාව
3. ආචාරධර්ම වලට අදාල නිපුනතාව
4. ක්රීඩා හා විවේකය පිළිබඳ නිපුනතාව
5. ඉගෙනීමට ඉගෙනීම පිළිබඳ නිපුනතාව
(ජාතික අධ්‍යාපන කොමිෂන්
සභාවේ පළමු වාර්තාව ඇසුරෙනි.)
මෙම ලිපිය යටතේ පාසල් පරිසරය ගැන මූලික
අවධානය යොමු වන බැවින් මෙම නිපුනතාවන් පිළිබඳ වැඩි අවධානය යොමු කිරීමට බලාපොරොත්තු
වෙමි. විශේෂයෙන්ම ගස් කොළන් වලින් වටවූ පරිසරයක පාසල පිහිටීම පාසල කෙරේ දරුවාගේ
ඇති කැමැත්ත වැඩි කරයි. එසේම විෂය කරුණු පමණක් මුල් කර ගනිමින් යහපත් දරුවෙකු නිර්මාණය කළ නොහැකි අතර
විෂය බාහිර ක්‍රියාකාරකම් මෙන්ම පාසලේ බාහිර පරිසරය තුළ සිදුකරනු ලබන ක්‍රියාකාරකම්
තුළ සමබර අධ්‍යාපනයක් ලබන දරුවා අනාගතයේ දී ප්‍රබුද්ධයෙකු වනු ඇත.
මේ ආකාරයට සමාජීය පරිසරය,
ජීව විද්‍යාත්මක පරිසරය හා භෞතික පරිසරික ආදී සාධක
දරුවාගේ අධ්‍යාපන රටාවට සෘජුවම බලපානු ලබයි. නමුත් සමහර ජාත්‍යන්තර පාසල්වල මෙකී
සාධකයන් දක්නට ලැබෙන්නේ නැත. කුඩා ඉඩ ප්‍රමාණයක
පවත්වාගෙන යන පාසලකින් දරුවාට උක්ත කී ගුණාත්මක වපසරියක් බලාපොරොත්තු විය නොහැක.
කුඩා කාලයේ දරුවා දකින, ඔවුන් හැසිරෙන
පරිසරය අනුව ඔවුන්ගේ අනාගත තීරණය වනු ඇත.
ආචාර ධර්ම වලට අදාළ නිපුනත්වය යටතේ දරුවා
ශීලාචාර කිරීමට අවශ්‍ය ආකල්ප සංවර්ධනය කිරීම බලාපොරොත්තු වේ. ඒ අනුව ආගමික
ඉගැන්වීම්, මතවාද, වත් පිළිවෙත්, සිරිත් විරිත්
වලට අනුකූලව හැඩගැසීම වැදගත් වේ. දේශීය චින්තනය හා සංස්කෘතිය මත හැදී වැඩෙන දරුවන්
නිර්මාණය කිරීමට මෙකී ආචාරධර්ම වල නිපුණත්වය අත්‍යවශ්‍ය වේ.
හෙට දවස යහපත් ගුණ
දහමින් හා හික්මීමෙන් යුතු දරු පරපුරක් අපට සිටියි නම් හෙට දවසේ අපේ රටේ අනාගතය
ගැන බියවිය යුතු නැත.
එසේම දරුවන්ට ක්‍රීඩා හා විවේකය පිළිබඳ
කෞෂල්‍ය ද ඉතා වැදගත්ය. ශාරීරික හා මානසික
සංවර්ධනය උදෙසා පාසල් ළමුන් විවිධ ක්‍රීඩාවල නිරත වේ. ශරීර සෞඛ්‍යය, දියුණුවන ව්‍යායාම
හා ශාරීරික වශයෙන් නොයෙක් දක්ෂතා වැඩිදියුණු වන ක්‍රියාකාරකම් පාසල්වල සංවිධානය කළ
යුතුය. විශේෂයෙන්ම ළමා පෞරුෂ සංවර්ධනය සඳහා
අවශ්‍ය පුද්ගලික හා සමාජ කුසලතා වර්ධනයට අධ්‍යාපනය ලැබීම මහෝපකාරීවේ.
අධ්‍යාපනය නිසා පොදු හික්මීමක්, තීරණ ගැනීමේ
ශක්තියක් හා සමාජ වගකීම් පිළිබඳ අවබෝධයක් ඇතිවිය යුතුයැයි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය
සඳහන් කරයි.
කෙසේ වුවත් අධ්‍යාපන කාර්යය තුළ දී මෙන්ම
සමාජයට පිවිසි පසුවද බොහෝ දෙනෙකු තුළ අභියෝගයන්ට මුහුණ දීම, නිර්මාණශීලීත්වයෙන්
තොර බව හා සමාජ කුසලතා අවම මට්ටමක පවතින් අතර විරැකියාවෙන්ද පෙළීම සඳහා එම
තත්ත්වයන්ද යම්තාක් දුරකට හේතුවේ.
ඉගෙනීම දැනුම් සම්භාරයකින් මනස පුරවා ගැනීම
පමණක් නොව කායික මානසික හා සමාජීය වශයෙන්
සංවර්ධිත දරුවෙකු සමාජයට දායාද කිරිමක් වශයෙන් ද පෙන්වා දිය හැකිය.
ගාන්ධිතුමා විසින් ප්‍රකාශ කළ පරිදි හිත, හිස හා හදවත සංවර්ධනය කිරීම අධ්‍යාපනයෙන්
සිදු විය යුතුය.
එහෙත් නිසි ප්‍රමිතියෙන් තොර ජාත්‍යන්තර
පාසල්වල අධ්‍යාපන සැලසුම් ක්‍රියාත්මක කරන
පිරිස් ප්‍රඥාගෝචර නොවීමද ඒවායින් අධ්‍යාපනය ලබන්නා වූ දරුදැරියන්ගේ අධ්‍යාපනය
ගුණාත්මක නොවීම සඳහා හේතුවක් බවට පත් වී ඇත. විශේෂයෙන්ම විධිමත් පුහුණුවක් ලබා
නොමැති ඇතැම් ගුරුවරුන්ට
ලැබෙන්නේ ඉතාම පහළ වේතනයකි. අධ්‍යයනය, විශ්ලේෂණය, සංස්ලේෂණය,සම් පරීක්ෂණ
හා නිතර යාවත්කාලීන වන
දැනුමක් ඇති ගුරුමඬුලක් ප්‍රමිතියකින් යුතු අධ්‍යාපනයක් ලබා දීම සඳහා අවශ්‍ය වේ.
නමුත් මෙම පිරිස් උක්ත ආකාරයේ ප්‍රමිතියෙන් යුතු පිරිසක් දැයි දෙමව්පියන් මෙන්ම අධ්‍යාපන
බලධාරීන්ද විමසා බැලිය යුතුය. එබැවින් ජාත්‍යන්තර පාසල්වල බහුතර ශිෂ්‍ය සංඛ්‍යාවකට
අධ්‍යාපනයෙන් අපේක්ෂිත කුසලතා කරා ළඟාවීමට නොහැකි වී තිබේ.
පාසලක් ආරම්භ කිරීම යනු සිර ගෙවල් සියයක්
වැසීම වැනියැයි කියමනක් සමාජගතව පවතිනඅතර ඒ අනුව පාසල් වැසී යාම තුළ සමාජ අපරාධ
වර්ධනය වීම පුදුමයට කරුණක් නොවේ. සමාජය තුළ මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්,
මංකොල්ලකරුවන් ආදී විවිධ මට්ටම්හි අපරාධකරුවන් බෝ වනුයේ මෙසේ පාසැල් වැසී යාමෙන්
නිසි අධ්‍යාපනයක් හෝ ඉන් ලැබිය යුතු වූ අත්‍යවශ්‍ය හික්මීම හෝ නොමැතිව පුද්ගලයින්
සමාජගතවීම හේතුවෙනි.
ඒ අනුව පැවසිය යුතු වන්නේ මෙවැනි සුවිශේෂ
ගැටලුකාරී තත්ත්වයන් රාශියක් මෙම ක්ෂේත්‍රයේ පාසල් පද්ධතිය තුළ දක්නට ලැබුණ ද
තවමත් බලධාරීන්ගේ නිසි අවධානය ඒ කෙරෙහි යොමු වීම ඉතා අවම මට්ටමක පවතින බවය. එසේම ඒ පිළිබඳව
කතිකාවතක් නොතිබීම සමාජය තුළ පවත්නා රිකිතකයක් වශයෙන් ද පෙන්වා දිය හැකිය.
අධ්‍යාපනය
තුළින් ඇති කරගන්නා චර්යයාත්මක වෙනස මිනිසාගේ මරණය දක්වාම ස්ථාවර ලෙස බලපාන බැවින්
රටක ජාතික අධ්‍යාපන ප්‍රමිතීන් සැකසීමේදී බලධාරීන් විසින් ඒ සඳහා නිසි අවධානයක්
යොමු කිරීමට වගබලා ගත යුතුය. එසේම අධ්‍යාපනයේ වර්තමාන
තත්ත්වය හා එහි අනාගත අභියෝග සම්බන්ධයෙන් ශාස්‌ත්‍රීය වූත්, කාලීන වූත් කතිකාවතක්
වර්තමානයේ දී ඇති කිරීම වැදගත්ය. විශේෂයෙන්ම ආර්ථික දරිද්‍රතාවය ඇතිවීමට පාදක
වනුයේ අධ්‍යාපනික දරිද්‍රතාව වන බැවින් එය තුරන් කිරීම සඳහා කටයුතු කළ යුතුය.