Wednesday, May 31, 2017 |

සමාජය නාම මාත්‍රිකව පීතෘ මූලික වුවත් එය තත්වාකාරයෙන් මාතෘ මූලිකයි....



පිය සෙනෙහසට කවි ගී ලියවුණා මදි ද?  

පියවරුන්ගේ ගුණ වර්ණනා කිරීමට දින දර්ශනයේ ජූනි 21 දා වෙන් වී තිබුණත් එය මුළු ලෝකයම මව්වරුන්ගේ දිනය සමරනවා මෙන් ඉතා ඉහළින් සමරන බවක් දක්නට නොලැබේ. දරුවන් වෙනුවෙන් රුධිරය කිරි බවට නොහැරුණාට මවක් සේම පියවරුද දරුවන්ගේ අභිවෘද්ධිය  ගැන වෙහෙසෙන්නේය. ඔවුන් තුළ ඇත්තේ මතුපිටට නොපෙනෙන ස්නේහයකි. එහෙත් ඇතැම් දරුවන් තුළින් වර්තමානයේ දෙමව්පියන් කෙරෙහි පැවතිය යුතු සෙනෙසහ බොඳවී ඇත. ඒ බව වඩාත් ඔප්පු වූයේ මෑත කාලයේ දී තම දෙමව්පියන් මහමඟට ඇද දමන පුවත් බොහෝමයක්  අසන්නට ලැබීම හේතුවෙනි. මෙසේ  තම මව්පියවරුන් මහ මඟට ගොස් දමන බොහෝ දරුවන් විශාල මුදලක් වැය කරමින් කිරිපිටි, බෙහෙත්, ෂැම්පු , පවුඩර් ලබාදී  සතිපතා සත්ව සායන වලට ගෙන යන සුරතලා සමඟ හැන්දෑවට ජොගින් යන්නේ තම සමාජ පන්තිය නිරූපණය කිරීම පිණිසය. අද්‍යතනයේ දී ලංකාවේ සංස්කෘතික ගතිකයන් සිදු වෙමින් ඇත්තේ මේ අයුරුනි. ඒ නිසාම පසුගියදා බලු කූඩුවක ජීවත් වීමට සිදු වූ පියෙක් පිළිබද අසන්නට ලැබුණේ ඒ පියාට වඩා පුද සත්කාර බොහෝ නිවෙස්වල ඉන්නා බල්ලන් හා බළලුන් විසින් ලබන බැවිනි.

සුදොවුන් රජතුමාට බුදු පියාණන් වහන්සේ, නන්ද කුමාරයා හා රාහුල කමාරයා අහිමි වූ බැවින් සොවින් බුදුන් වෙත ගොස්   “ස්වාමිනී පියෙකු තුළ ඇති මේ දරු පෙම සම්, මස්, නහර ඇට, ඇට මිදුලු සිඳ යන්නේය.” යනුවෙන් පැවසූ බව සදහන් වේ. නමුත් අද සුදොවුන්ලාගේ සෙනෙහස වෙනස් නොවී ඇතිමුත් ඔවුන්ට දරුවන් වෙතින් පෙරළා කිසිදු සෙනෙහසක් හිමි නොවේ.

මවගේ ඩිම්බකෝෂයේ පියාගේ ශුක්‍රාණුව තැන්පත් වීමෙන් දරුවා බිහි වූ මොහොතේ පටන් දරුවා පිළිබඳ හටගන්නා වූ  ස්නේහය අපරිමිතය. දස මාසයක් කුස දරාගෙන ලේ කිරිකර පොවා අම්මා දරුවා හදාගත්තද තාත්තාගේ රුධිරය කිරි නොවුණත් දරුවන් පිළිබඳ තිබෙන ආදරය මවකගේ සේම බලවත්ය.

“මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ - පුදුමයි පුතුනි කිම මගේ ලේ කිරි නොවුනේ....”

සියලු අම්මාවරුන්ගේ ප්‍රාර්ථනාවන්ට ආශිර්වාද දෙන්නේ පියවරුන්ය. විනිවිද දක්නට නොලැබෙන පියවරුන්ගේ ආදරය අසීමිතය.

එදා පියවරු මහ රූස්ස කැලෑ එළිකළ ඈත මෑත නොපෙනෙන බිමක බෝග වගා කිරීමේ දී  අප්පච්චීගේ තනියට හේනට යන්නේ පුතුන්ය. පිය පුතු ස්නේහය අතීතයේදී වර්ධනය වූයේ ඒ අයුරිනි. පියා පමණක් ගෙනයන පවුල් බරට පුතුන් උරදුන්නේ මහත් සෙසෙහසිනි. පවතින සමාජ ක්‍රමය විසින් මේ සම්බන්ධතාවය දුරස් කරනු ලැබුවේද යන්න අප සමාජය වෙතින් විමසිය යුතු පැනයකි.

එක්තරා අතකින් මේ සඳහා නව තාක්ෂණියේ  ආගමනය ද බලපෑ ඇති බව කිව හැකිය. එනම් අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය වලට වර්තමානයේ බොහෝ දරුදැරියන් ඇබ්බැහි වී සිටින බැවින් ඔවුන් පවුලේ සාමාජිකයන් සමඟ පවත්වනු ලබන සම්බන්ධතාවන වල දුරස්ථ ස්වභාවයකට පත්ව තිබේ. එසේම මෙම තත්ත්වය දරුවන්ගේ පාර්ශවයෙන් මෙන්ම දෙමව්පියන්ගේ පාර්ශවයෙන් ද අවධානය යොමු කළ යුතු තත්ත්වයකි. මන්ද යත් දරු දැරියන් මෙන්ම ඇතැම් පවුල් වල මව හා පියාද සමාජ මාධ්‍ය නිරන්තරයෙන් භාවිත කිරීමට පුරුදු වී සිටින බැවිනි. කෙසේ වුවත් මෙම තත්ත්වය ඔසසේ අතිශය ඛේදනීය සිදුවීම් පවා ඇතැම් අවස්ථාවල වාර්තා වී ඇති අතර මෙහිදී මාගේ මතකයට නැඟෙන එවැනි  එක් සිදුවීමක් සම්බන්ධයෙන් මෙසේ සඳහන් කළ හැකිය.

එනම් මෙසේ සමාජ මාධ්‍ය භාවිතය සඳහා ඇබ්බැහි වී සිටි එක්තරා පවුලක පියෙක් හා දියණියක් ඔවුනොවුන් පියා හා දියණිය බව නොදැන සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් තුළදී දින ගණනාවක් පුරා සංවාද ඇසුරින් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබේ. එකම නිවසක ඔවුන් වාසය කළත් කාමර දෙකකට වී ඔවුන් අන්තර්ජාලය තුළ ගොඩනංවාගෙන සිටි ව්‍යාජ අනන්‍යතාවන් ඔස්සේ මෙම සම්බන්ධය දුර දිග ගොස් අවසානයේ එක්තරා ලැගුම් හලකදී හමුවීමට කතිකා කර ගෙන තිබේ. අනතුරුව පියා ලැගුම් හලට ගොස් ඔහු විසින් අන්තර්ජාලය තුළදී සම්බන්ධතාවක් ගොඩනඟා ගත් තරුණිය පැමිණෙන තුරු බලා සිටි අතර එම තරුණිය පැමිණ ලැගුම් හලේ කාමරයේ දොරට තට්ටු කිරීමේ දී පියා විසින් දොර විවෘත කළ පසු තමා මෙතෙක් කලක් අන්තර්ජාලය ඔස්සේ අනියම් සම්බන්ධතාවක් පැවැත්වූයේ තමාගේම දියණිය සමඟ බව දැනගත් නිසා ඔහු සියදිවි නසා ගැනීමට කටයුතු කර තිබේ. එසේම තමාගේ පියා සමඟ පෙම්වතෙකු සමඟ මෙන් ලිංගික සංවාදයේ යෙදුණු එම දියණිය මානසික රෝහලකට ඇතුළත් කළ බවද සඳහන් විය.

එසේම ඇතැම් පියවරුන්ට යම් යම් අවාසනාවන්ත තත්ත්ව වලය මුහුණ දීමට සමාජ අර්ථ ක්‍රමය බෙහෙවින් බලපා ඇති බවද පැවසිය හැකිය. එනම් පීතෘ මූලික සමාජයේ පියාට හිමි ගෘහ මූලිකත්වය ඡන්ද නාම ලේඛනයට පමණක් සීමා වී ඇත. සමාජය නාම මාත්‍රිකව පීතෘ මූලික වුවත් එය තත්වාකාරයෙන් මාතෘ මූලිකය. මන්ද යත් නිවසේ සියලු තීන්දු තීරණ ගන්නේ මව විසින් වන බැවිනි. එසේම මේ තත්වය නිසා කුටුම්බය තුළ පියාට හිමි විය යුතු ගෞරවය අහිමි වීමට සියලු මව්වරු වගකිව යුතු වන බවද සදහන් කිරීම වැදගත්ය. තමා ස්වාමිපුරුෂයාට වඩා තමා ඉහළ වැටුපක් ලබා ගත්තද ඔහුට හිමිවිය යුතු ගෞරවය හිමිවිය එලෙසින්ම හිමි විය යුතුය. මන්ද යත් දරුවන්ගේ ලෝකය තුළ පියා වීරයෙක් කළ යුතු විනා ඔහු මවගේ දාසයෙක් හෝ අතවැසියෙක් නොවිය යුතුය.  

මීට පෙර පැවති සමාජ  කුමය තුළ පියාට ඍජුවම තම අවශ්‍යතා ඉදිරිපත් නොකළ අතර එය මවගේ මාර්ගයෙන් ඉදිරිපත් කළද අද එම සම්බන්ධතා ව්‍යුහය වෙනස් වී ඇත.

කෙසේ වුවත් මුදල් උපයා දී අවශ්‍යතා ඉටුකරන්නේ පියා වුවද එහි ප්‍රතිලාභ වූ ස්නේහය ලබා ගැනීමට මවුවරුන්ට අවස්ථාව සැලසී ඇත.

පියවරුන්ට සම්බන්ධයෙන් මෙම තත්වය ඇති වීමට ප්‍රධාන ලෙස බලපා ඇත්තේ සියලු වටිනා  වස්තූන් නාමකරණයේදී මව් පදවියට දී ඇති සන්නාමයයි. ඒ අනුව මව් රට, මාතෘ භූමිය, පාසල් මෑණිය ලෙස ව්‍යවහාර කිරීම මේ තත්වය ඇති වීම සදහා බලපා ඇති බව කිව යුතුය.

මෙසේ පිය සෙනෙහසට අඩු තක්සේරුවක් හිමිවීම පියවරුන්ගේ අවාසනාව වුවත් සමස්ත සමාජයම මේ අවාසනාවට වගකිව යුතු වන බව අවසාන වශයෙන් සදහන් කළ යුතුය.



Sunday, May 28, 2017 |

පින්බර වූ වෛශාඛ්‍ය මංගල්‍යය...


පින්බර වූ වෛශාඛ්‍ය මංගල්‍යය...
පුදමු බුදු හිමි පා යුග මනරම්
අසමු ඒ බුදු සමිදු දෙසු සදහම්
සරමු ඒ දම් මාවතේ දැහැමින්
නිවෙමු සැනසෙමු
එතෙර වෙමු සසරින් .......................

ලෝවාසී සියලු සත්වයන්ට සසර කතරින් එතෙර වීමට මාවත විවර කරාවූ බුදුපියාණන් වහන්සේගේ ඉපදීම, බුදු වීම,පිරිනිවන් පෑම යන මංගල කරුණු රැසකින් පූජනීයත්වයට පත් වීම මුල් කර ගනිමින් ලෝකය පුරා සිටින බෞද්ධ - අබෞද්ධ සියලු ජනතාව වෙසක් පෝ දිනය මහත් උත්කර්වෂවත් අන්දමින් සමරනු ලබයි. ඒ දාන, ශීල, භාවනා ආදී ප්‍රතිපත්ති පූජාවෙන් හා වෙසක් සැරසිලි, තොරණ, වෙසක් බැති ගී ගායනා, වෙසක් දන්සැල් ආදී ආමිස පූජාවෙනි.
වෙසක් යන වචනය සෑදී ඇත්තේ විශාඛ යන සංස්කෘතික වචනයෙනි. දැනට ලංකාවේ ජ්‍යෝතිෂයේ භාවිත වන නැතක් විසිහතෙන් දහසය වන නැකත වන විසා නැකත පාදක කරගනිමින් මේ නම භාවිත වේ. වෙසක් පෝය යනු සඳ විශාඛ නැකතට අයත් තරු පන්තියට ආසන්නව උදාවන පුන් පෝ දිනයයි. නමුත් සෑම රටක්ම වෙසක් දිනය තීරණය කරන්නේ එකම ආකාරයෙන් නොවේ. තායිලන්තයේ වෙසක් මාසය තීරණය කරනු ලබන ක්‍රමයට අනුව වෙසක් පෝ දිනය වන විට සඳ විශාඛ නැකතට පැමිණ අවසන්ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙසක් මාසය සමරන්නේ තායිලන්තය වෙසක් සමරන දිනයේය. බොහෝ වර්ෂවල මෙම දින සමපාතව යෙදෙන අතර වසර හයකට වරක් පමණ මෙය වෙනස් වේ.

බෝසතාණෝ සුද්ධෝදන මහ රජතුමා හා මහමායා දේවියගේ පුත්ව කිඹුල්වත් නුවර ලුම්බිණි සල් උයනේ දී උපත ලැබුවේ වෙසක් පුන් පෝ දිනයේය. ලෝකාර්ථය සලසන හෙයින් සිද්ධාර්ථ වූ බෝධිසත්වයෝ සත්පියුම් මත සිට ''මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මේ මාගේ අවසාන උපතයි. නැවත උපතක් නැත.'' යනුවෙන් අභීත ස්වරයෙන් සීහ නාදය පැවැත්වුවේය.

අධික කම් සැප විදීම අත්හළ උන්වහන්සේ අත්තකිලමතානුයෝගී අනුගමනය කළසේක. එහි ද නිෂ්ඵලතාව අවබෝධ කරගත් උන්වහන්සේ මැදුම් පිළිවෙත අනුගමනය කර බුද්ධගයාවේ ඇසතු බෝ මුල වැඩසිට වෙසක් පුන් පෝ දා සියලු කෙලෙස් නසා උතුම් වූ බුද්ධත්වයට පත් විය.

සුද්ධෝදන පිය රජුගේ ආරාධනය අනුව විසි දහසක් භික්ෂූන් පිරිවරාගෙන කිඹුල්වත් නුවරට උන්වහන්සේ වැඩම කරන ලද්දේ වෙසක් පෝ දිනයේය. එහිදී තම ඥාතීන් වූ ශාක්‍යන්ගේ මානය දුරු කරමින් යමාමහ පෙළහර දක්වන ලද්දේ ද පින්බර වෙසක් පුන් පෝ දිනයේය.
කිසා ගෝතමිය විසින් නිබ්බුත පද ගායනා කරමින් බුදුන් වහන්සේගේ ගුණ ගායනා කරන ලද්දේ ද උතුම් වූ වෙසක් පෝ දිනයේය.

මල්ල රජ දරුවන්ගේ උපවර්තන නම් සල් උයනෙහි යමක නම් සාල වෘක්ෂයන් අතරෙහි පනවන ලද ආසනයෙහි හිද භික්ෂූන් අමතා සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය හෙයින් අප්‍රමාදව ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ක්‍රියා කරන්නැයි දේශනා කර වෙසක් පුන් පෝ දා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ සේක.

දීපංකර බුදුන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නය රඹගම් නම් පුරයට වැඩම කරන අවස්ථාවේ පඤ්චාභිඥා සහ අෂ්ඨ සමාපත්තිය උපදවා සිටි සුමේධ තාපසතුමා දීපංකර බුදුන් වහන්සේගෙන් ප්‍රථම නියත විවරණ ලබන ලද්දේ වෙසක් පෝ දිනයේය.

එසේම අග්‍ර උපස්ථායක වූ ආනන්ද රහතන් වහන්සේ පිරිනිවන් පෑවේද වෙසක් පෝ දිනයේය.
ලාංකිකයින් වන අපට වඩාත් වැදගත් වන්නේ බුද්ධත්වයෙන් අට වන වර්ෂයේ දී තෙවන වරට මණිඅක්ඛිත නා රජුගේ ඇරයුමෙන් කැලණියට වැඩම කිරීම හා එහිදී සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සිරිපාද පද්මය පිහිටුවා තෙවන වරට ද ලංකාව පුන්‍ය භුමියක් බවට පත් කිරීමය. එහිදී දිවා ගුහාව, දීඝවාපිය, මුතියංගනය ආදී ස්ථාන දාහතරකට බුදුපියාණන් වහන්සේ වැඩම කළ සේක.

පිරිනිවන් මංචකයේ සැතපී සිටි බුදුන් වහන්සේ ලොව බලද්දී සත්සියක් පිරිස සමඟ ලංකාපුරයට පැමිණෙන විජය කුමරු ඇතුලු පිරිස දුටු බවත් මේ පිරිසට ආක්ෂාව ලබාදෙන ලෙස සක්දෙව් රජුට නියම කළ බව පුරාවෘත්ත වල සඳහන් වේ.

ධර්මාශෝක අධිරාජ්‍යයා විසින් දෙවන පෑතිස් රජු වෙත එවන ලද පංච කකුධ භාණ්ඩ සහිතව දෙවන වරට අභිෂේක ලබා දීම, දුටුගැමුණු රජු රුවන්වැලි මහා සෑය ඉදිකිරීම් කටයුතු ආර්ම්භ වන්නේද එසේම ශ්‍රීපාද වන්දනාවේ යෙදෙන අවසාන පෝය වන්නේද මේ වෙසක් පුන් පෝ දිනයයි.

මහා විහාරවංශික භික්‍ෂූන්ගේ වර්ෂයක් පාසා පවත්වනු ලබන උපසම්පදා මහෝත්සවය ප්‍රථමවරට පැවැත්වීම ආරම්භ වන්නේ ද මෙම පුන් පෝ දිනයේය.
වෙසක් පෝ දිනයේ දී ප්‍රත්පත්ති පූජාවට මුල් තැන දෙමින් ලෝකය පුරාම උත්සවාකාරයෙන් සමරනු ලබයි. සියලු ලෝ වාසීන් අතරින් දකුණු ආසියානු හා අග්නිදිග ආසියාතික රටවල් වෙසක් පුන් පෝ දිනය අති උත්කර්ශවත් ලෙස සමරනු ලබයි. ශ්‍රී ලංකාව, නේපාලය, තායිවානය, හොං කොං, ඉන්දුනීසියාව, වියට්නාමය, තායිලන්තය,සිංගප්පූරුව, මියන්මාර්, මැලේසියාව ආදී ආසියාතික රටවල් මෙම උතුම් දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් කර ඇත.

යටත් විජිත සමයේ ජාතික නිදහස වෙනුවෙන් සටන් කළ අපේ මුතුන් මිත්තන්ට වෙසක් පෝ දිනය සැමරීම අධිරාජ්‍යවාදීන් විසින් තහනම් කරන ලදී.

1885 දී ඕල්කට්තුමා ආනන්ද කුමාරස්වාමී ආදී වූ දේශයේ උන්නතිය සඳහා උරදුන් වීරන්ගේ වෑයමෙන් මෙම තහනම ඉවත් තරන ලදී. 1886 දී වෙසක් දිනයේදී බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කළ අතර එය රටවල් 60 ක පමණ භාවිත වේ.

1999 වසරේ සිට වෙසක් පුන් පෝ දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත්තරන ලද්දේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ හිටපු මහා නායක උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී බුද්ධරක්ඛිත මාහිමියන් වහන්සේගේත්, එවකට හිටපු විදේශ ඇමති වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේත්, එවකට නියෝජ්‍ය විදේශ ඇමති වූ ලක්මන් කිරිඇල්ල මහතාගේත් මහත් වූ පරිශ්‍රමයෙනි. මෙවර ජාත්‍යන්තර වෙසක් සැමරුම රටවල් 80 ක නායකයන්ගේ සහභාගිත්වයෙන් දින තුනක් පුරා පැවැත්වේ.

උක්ත දැක්වූ පරිදි පින්බර වූ වෙසක් පුන් පෝ දිනය ලෝවාසී ජනයාට උතුම් වූ ආගමික පූජනීය දිනයකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර වූ ඓතිහාසික ශාසනික වටිනාකම සිහිපත් කරන දිනයකි. අප විසින් අනුගමනය කළ යුතු මාර්ගය බුදුන් වහන්සේ අපට පෙන්වා දී ඇත. සීලය ,සමාධිය, ප්‍රඥාව උසස් කිරීමට කටයුතු කළ යුතුය. මනුෂ්‍ය ජීවිතයේ උසස් ප්‍රතිඵල ලබා ගැනීමට පිළිවෙතින් සැරසිය යුතුය.


බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ තමන් වහන්සේ පිදිය යුත්තේ මලින්, පහනින් පමණක් නොව ධර්මයට අනුව ජීවත් වීමෙන් බවය. මනස සංවර්ධනය කර ගනිමින් තමන්ගේ ජීවිතය අර්ථවත් ලෙස ධර්මයට අනුව ගත කරන්නේ නම් එය තමන් වහන්සේට වන්දනාමාන කිරීමක් ලෙස බුදුන් වහන්සේ දේශනා කළ සේක. එබැවින් වෙසක් දිනය සැමරීම සිදුවිය යුත්තේ ඒ ආකාරයෙනි.