Monday, May 25, 2020 |

උඹට




උඹට 😍😍😍😍
මට කලින් උඹ මැරුණොත්, උඹට කලින් මං මැරුණොත් කොහොම උණත් අපි දෙන්නගෙන් එක්කෙනෙක්ට ඒ විදවීම දරාගන්න වෙනවාමයි.......
මතක් වෙයි නේද? ගොඩක් දේවල්..... එහෙම තමයි බන් ආදරය..... අපි ආ ගිය තැන් ..... පැය ගණන් කතා කරපුවා...... විහිළු කරපුවා...... මාව කේන්ති ගස්සපු හැටි..... මාව ශේප් කරගන්න කියන කතා........ අම්මෝ ..... කොච්චර දේවල් තියෙනවද මකත් කරන්න....
තාත්තෙක් වගේ මාව රැකපු උඹ, වෙන පිරිමියෙක් ඇගේ ගෑවෙනකොට ඔරවපු ඇස් කෙහොම අමකත කරන්නද? මට බෑ කොල්ලෝ මේවා දරාගන්න... මොකද චණ්ඩියෙක් වගේ කෑ ගැහුවට මගේ දරා ගැනීම බිංදුවයි කියලා උඹ දන්නවා හැම වෙලාවෙම ඇස්වල කඳුලු පිරෙන කොට...... ඒ නිසා මට කලින් උබ නොමැරියන්
ආදරය කියන්නේ බෝසත් කමක්...එහෙම ආදරයක් හැමෝටම දෙන්න බෑ... ඒත් උඹගෙන් මං එහෙම ආදරයක් වින්දා...... ඒ ආදරයට හැමදාම ආදරෙයි...... පරිස්සම් කරගන්න .......මැරෙන මොහොත වෙනකම් මතක් කරන්න......මොකද අපි දෙන්නටම ජීවත් වෙන්නේ ඒ මතකයන් එක්ක
2020/03/28

වෙමු


Image may contain: night and sky
අවාරයේ දවසක හමුවෙමු
හඳ 🌙 එළියට මුවාවෙමු
තරගෙට තරු 😍😍 ගනිමු
සීතලට තුරුලු 😙😙 වෙමු

The Call of the Wild


The Call of the Wild ඉංග්රීසි චිත්රපටය 1903 Jack London විසින් රචිත The Call of the Wild
කෘතිය ඇසුරින් නිෂ්පාදනය කරන ලද චිත්රපටයකි. එම චිත්රපටය 2020 පෙබරවාරි 21 ඇමරිකාවේ තිරගත විය.
Michael Green තිර රචනා කළ , Chris Sanders අධ්යක්ෂණය කළ මෙම චිත්රපටය සඳහා
Harrison Ford, Omar Sy, Cara Gee,Dan Stevens,Bradley Whitford යන රංගන ශිල්පීහු රංගනයෙන් දායක වෙති.
සුනඛයෙකු පාදක කරගත් කතාවක් චිත්රපටයේ ප්රධාන තේමාව වී ඇත.
ඊට 19 වන සියවසේ අගභාගයේ ඇලෙස්කාව ආශ්රිත ප්රදේශ වලට පුද්ගලයින් රත්තරන් සොයා යාම පිළිබඳව ද චිත්රපටයේ ඇතුළත් වේ.
චිත්රපටයේ ප්රධාන චරිතය වන්නේ Buck සුනඛයා ය. අධිකරණ විනිසුරුවරයෙකුගේ ගෙදර හුරතලයට ඇති කළ එම සුනඛයා කිසියම් පුද්ගලයෙකු පැහැරගෙන යයි. ඉන්පසු හිම කරත්ත ඇදීම සඳහා Buck යොදා ගන්නා අතර මුලින් මිනිස් ලෝකයේ හැදී වැඩුණු Buck අනතුරුව සීතල පරිසරයට අනුගත වෙයි. ඉතා කාර්යක්ෂම ලෙස ස්වාමියාට
සේවය කරන Buck රැළේ නායකයා බවට පත්වෙයි.
1890 කාලයේ දුෂ්කර සේවයක නිරත වී සිටින මිනිසුන්ගේ ලියුම් හුවමාරු වන්නේ Buck වැනි හිම බල්ලන්ගේ අධාරයෙනි.
"දැක්කද Buck, අපි අරන් එන්නේ ලියුම් විතරක් නොවෙයි. අපි අරන් එන්නේ ජීවිත, අපි අරන් එන්නේ
බලාපොරොත්තු, අපි අරන් එන්නේ ආදරය...."
විදුලි පණිවිඩ සේවය පැමිණීමට යෝජනා වීමත් සමඟ තවදුරටත් Buck සේවය අවශ්ය නොවන නිසා නැවතත් බල්ලන් අලෙවි කරන ස්ථානයට යෑමට සිදුවේ.
Buckගේ මීළඟ හාම්පුතා වන්නේ දුෂ්ඨයෙක් වන නමුත් John Thornton නමැති කරුණාවන්ත
මහලු මිනිසා එම ස්වාමියාගෙන් Buckව බේරා ගනු ලබයි.
John Thornton තම මියගිය පුතු ගැන , හැර ගිය බිරිඳ ගැන Buck සමඟ කතා කරයි.
ඔහු තම ජීවිතයේ සියලු දුක් - දොම්නස් Buck සමඟ බෙදා ගනු ලබයි.
ඔහු තම පුතාගේ බලාපොරොත්තුවක් ඉටුකිරීමට යුක්රේන සිතියමෙන් පිට පළාතකට යාමට අදහස් කරන අතර ඒ අනුව කවුරුත් නැති, හුදෙකලා ප්රදේශයට Buck සමඟ යයි. ඔහුට එහිදී රත්රන් හමුවන අතර Buckට තමන්ගේ වර්ගයා සමඟ එක්වන්නට හැකියාව ලැබේ.
මිනිත්තු 100 ධාවන කාලයක් තුළ මිනිස් ජීවිත හා සමීප වන Buck ගෙදර සුරතලෙක් ලෙස හැදී වැඩී හිම මත දුවමින් මිනිසුන්ගේ බලාපොරොත්තු, ආදරය ගෙනයන සන්දේශකාරයෙක් වී පසුව තනි වූ මිනිසෙකුගේ තනිකම මකමින් ඔහුට සවන් දෙන සමීපතමයා බවට පත්ව අවසානයේ තමන්න්ගේ ප්රවේණි අයිතිය ලබා ගැනීමට වාසනාවන්ත වෙයි.
ස්වාමි භක්තිය, කරුණාව, සහයෝගය වැනි ලක්ෂණ Buck වෙතින් පිළිඹිබු වේ.
චිත්රපටය පුරාම දුෂ්කර ජීවිකාව, අර්ථ ක්රමය, සමාජ පසුබිම, රත්රන් සොයා යන මිනිස්සුන්ගේ බලාපොරොත්තු, ඔවුන්ගේ වෘත්තීය පසුබිම,
සන්නිවේදන දුෂ්කරතා නිරූපණය කරන අතර 19 වැනි සියවසේ වයඹ දිග කැනඩාව ආශ්රිත සමාජ වපසරිය ද මෙහිදී නිරූපණය කිරීමට සමත් වී ඇත.
චිත්රපටයට පාදක වූ The Call of the Wild නවකතාව "වන පෙත අඩගසයි" නමින් ආරියවංශ රණවීර විසින් සිංහලට පරිවර්තනය කර ඇත.
නිසංකා සන්දීපනී
2020-04-15


Luca


Image may contain: 1 person, sitting and beard
"ඊළඟ මෝසමේ අපි වැස්සට තෙමෙමු කිියලා ඇයි? තනියම මාව වැස්සට තල්ලු කරේ"
කැම්පස් එකෙන් අවුට් වුනාට පස්සේ පාන්දර 4, 5 වෙනකම් ෆිල්ම් බලන කාලයක් උදාවෙයි කියලා
කවදාවත් හිතුවද?
එකිනෙකට වෙනස් ආදර කතා දෙකක් මුසුවුණු ෆිල්ම් එකක්. ලුකා - නිහාරිකා, අක්බර් - ෆාතිමා ආදර
යුවල. Luca මලයාලම් චිත්රපටය ඉන්දියාවේ තිරගත වෙන්නේ 2019 ජුනි 28. ඒ Arun Bose ගේ අධ්යක්ෂණයෙන්.
ලුකා පින්සලෙන් ජීවිතය සිත්තම් කරන ප්රසිද්ධ චිත්ර ශිල්පියෙක්. මව - පියා කුඩා කාලයේම අහිමි වීම නිසා මරණය ගැන බියකින් පෙළුණ කොල්ලෙක්. මැරිච්ච කූඹුයෙක් දැක්කත් කකුල් දෙක
පණ නැතිවෙණ සංවේදී කොල්ලෙක්. ඒ නිසාම Necrophobia හා Thanatophobia
යන මානසික ව්යාකූල තත්ත්වයෙන් පීඩා විදිනවා.
නීහා කුඩා කාලයේදීම තම මාමාගෙන් අපයෝජනය වන දැරියක්, ඇය තම පර්යේෂණ කටයුතු වලට
පැමිණි අවස්ථාවේදී ලුකාව මුණ ගැහෙනවා.
"මේ ලෝකේ කවුරුත් ඔයා දිහා එහෙම බලනවට මං කැමති නෑ"
ඒ ලුකා - නීහා ආදරයයි .
ලුකා ගේ මරණය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ මෙහෙයවන අක්බර් - ෆාතිමා සමඟ විවහා වන්නේ
පෙම්වතිය අහිමි වීමෙන් ඇති වූ පීඩාවට විසඳුමක් ලෙසයි. නමුත් අක්බර් තම පෙම්වතියගේ මතකය පවුල් ජීවිතයට බාධාවක් වූ නිසා ෆාතිමා දික්කසාද කිරීමට තීරණය කරයි.
මේ අතර ලුකා මොළයේ පිළිකාවකින් පීඩා විදින බව නීහා දැනගනී.
"ඊළඟ මෝසමේ අපි වැස්සට තෙමෙමු කිියලා ඇයි? තනියම මාව වැස්සට තල්ලු කරේ"
නීහා කඳුලු පිසිමින් ඩයිරියේ විෂ තවරන්නේ ඇයගේත් - ඔහුගේත් ජීවිතවල අවසානය දකින්නටය.
නීහා තනියම වැස්සට තෙමෙන්න ගියේ නැත. ඒ තනිවම ඇයට මෝසමට ඔරොත්තු දීමට අපොහොසත් බැවිනි. ලුකා මැරෙන්න සතියකට පෙර නීහා සියදිවි නසා ගත්තේය.
ලුකාගේ මරණය සම්බන්ධ පරීක්ෂණ වලදී අක්බර් තම බිරිඳ ෆාතිමාට වඩාත් සමීප වුවාය.
මිනිත්තු 151 කාලයක් එකිනෙකට වෙනස් ආදර කතා දෙකක් මෙසේ නිමවිය. සියලු දෙනා ආදරය කරති. නමුත් ආදරය නිසා මිය යන්නෝ බොහෝය, පරාජය වන්නෝ බෙහෝය, වෛර කරන්නෝ බොහෝය ;මඟහැර යන්නෝ ද , මඟහැරෙන්නෝ ද
බොහෝය .....මේ සියලු දෙනා අතරින් ආරය දිනන්නෝ ද ඇත. නමුත් මේ සියල්ලෝම ආදරය වින්දෝය .
ආදරය නිසා විදෙව්වෝය .
"එන්න තුරුළට, අපි නිදාගමු, මේ වහින වැස්සට ඇති තරම් වහින්න හේතු දීලා අපි තද නින්දකට යමු"
Luca මලයාලම් සිනමාපටය ඇසුරෙනි.
නිසංකා සංදීපනී - 2020 /4 /16

සැනසෙන් දියණියනේ




තාත්තෙක්ට පුලුවන්ද දුවෙකගේ ඇහෛන් වැටෙන කඳුලු මුතු බවට පත් කරන්න. ඒ මුතු ඇට දුවගේ කනේ පළදන්න....
ඔව් පුුලුවන්, එහෙම කිව්වේ රේඩියෝවෙන් ඇහුණු සිංදුවක .
ඒ නන්දා මාලනීයගේ ආත්මීය හඬින් කියන සුරංගනා කතාවක්. තම දියණිය පිළිබඳ හටගත් දාරක ස්නේහය පද රචනා කරලා තිබුණේ ප්රේමකීර්ති ද අල්විස්.
මේ සුරතල් දියණිය 'සුරංගී' ය. පියෙකුගේ සුරතලියක්. සුරංගීට දුක හිතිලා අඬනවා.
සුරංගනා කතාව පටන් ගන්නේ එතැනින්.
සුරංගීට දුක හිතුණා
යටි තොල කණපිට හැරුණා
මුහුණ රෝස පාටින් පිරුණා
කඳුළු පේළියක් වැටුණා
ඇගේ මුහුණ රතු වෙයි. යටි තොල කණපිට පෙරලෙයි. කුඩා දරුවන් හඬන විට මුහුණේ මෙවැනි විපර්යාසයන් කිහිපයක් සිදු වේ.
මලක් වන් දියණියගේ හැඬුම පියාට වේදනාව ගෙන දෙන්නකි.
වැස්සක් අහසින් හැළුණා
ගඟට කඳුළුබිඳු එකතු වුණා
කැලේ මැඳින් ගඟ ඇදුණා
ඒ ගඟ මුහුදට වැටුණා
සුරංගී හෙමින් හෙමින් පටන්ගත් ඇඬුම කෙමෙන් කෙමෙන් වැඩි වෙයි. ඒ පොඳ වැස්ස නොකඩවා ඇඳ හැලෙන වැස්සක් බවට පත් වෙනවා මෙනි. සුරංගිගේ කඳුළු බිංදු - වැස්සට එක් වෙයි - වැහි බිංදු ගඟට එක් වෙයි- ගඟ වතුර මුහුදට ගලාගෙන යයි.
බාලක ලෝකයට ගැලපෙන සරල භාෂාවක් ගීතය පුරාම ඇත.
මුහුදේ පතුලට කිඳුණා
මුතුබෙල්ලෙකු කුස රැඳුණා
දවස් ගණන් එහි තිබුණා
ඒ කඳුලින් මුතු හැදුණා
ගඟ මුහුදට වැටෙයි. සුරංගිගේ කඳුළු බිංදු මුහුදු පතුලේදී මුතු බෙල්ලෙකුගේ බඩට යයි. ඒ කඳුළු බිංදු මුතු ඇට බවට පත් වෙයි.
මේ දාරක කල්පනාව ගොඩනැගෙන්නේ පියාගේ හිත තුළයි. පියෙකුට පුළුවන්ද තමන්ගේ දියණියගේ කඳුළු මුතු ඇට බවට පත්කරන්න.
ඔව් පුළුවන්. ඒ නිසා තමයි සෑම දියණියකටම තම පියා වීරයෙක් වන්නේ. මේ සුරංගනා ලෝකයෙන් ඔබ්බට දකින සමාජ යථාර්ථය එයයි.
සෑම දියණියකගේම සාර්ථකත්වය පිටුපස සිටින යෝධ සෙවනැල්ල පීතෘත්වයයි.
මුතු කැට ගොඩට ගෙනා
කරාබු යුවළක බැඳුණා
ඒ කරාබු ගෙදර ගෙනා
සුරංගීට දැන් හරිම හිනා
සුරංගීගේ කනට තෝඩු පළඳවන දිනය පැමිණේ. ඇය පළඳින මුතු ඇගේම දෑසින් වැටුණු කඳුළු බිඳුය . " සුරංගීට දැන් හරිම හිනා"
"කන විදින වෙලේ කඳුළු ගඟේ පතුල බැලූ දූ - අද සතුටු ගඟේ හිනැහෙනවා දාලා කරාබු - හායි දාලා කරාබු"
ඒ හෙන්රි කල්දේරා ගායනා කරන සුදු දෝනි තුෂාරි කනට තෝඩු පැළඳි දිනයයි.
කනට තෝඩු පළඳවනා
කන්පෙති කටුවෙන් විදිනා
දවසක් එන බව හැඟුණා
තාත්තාට දුක හිතුණා
සුරංගීට සතුටකුත් - තාත්තාට දුකකුත් දැනෙයි. දුක - සතුට තීව්රරව නිරූපිත වී ඇත. තෝඩු පැළඳි දියණිය තරුණියක වන්නේය, ඒ තරුණිය වෙනත් පුර්ෂයෙකුගේ ආදරය ලබන්නේය. තරුණියක් තම සහකරුවා තුළින් පියා දකින්නට උත්සහ කරන්නේය .
සුරංගීද අනාගතයේ තමා හැර යයි. 'තාත්තාට දුක හිතුණා' සාම්ප්රදායික සුරංගනා කතාවල අවසානයේ දුකට පත්වන්නෙක් නැත.
නමුත් සුරංගීගේ කතාවේ තාත්තාට දුක හිතෙයි.
දරුවන් ඇස කඳුලින් ලය
උණුවන මිනිසුන්නේ
සරණින් ලොව කොතැනක වුව
සැනසෙන් දියණියනේ
දයාසේන ගුණසිංහ ' එතෙර ගිය පොඩි දුවට ' ලියූ පැඳි පෙළක තම දියණියට මෙසේ අමතා ඇත. දියණියන් සැනසෙන්නේ පියවරුන්ගේ ලෝකයේය.
-නිසංකා සන්දීපනී-
2020/04/16

Fantasy Island



යථාර්ථය හා මායාව අතර අවකාශයේ ගලා යන සිතුවිලි ධාරාව Fantasy වේ. ජීවිතයේ පැවැත්ම විසින් Fantasy ඉල්ලා සිටී.
එය අවිඥාවික ආශාවන් , සිහින, බලාපොරොත්තු තුළ ජීවිතය දෝලනය වන්නේය.
2020 පෙබරවාරි 14 වැනිදා අමෙරිකාවේදී පළමුවරට තිරගත වූ Fantasy Island අධිස්වභාවික ත්රාසජනක චිත්රපටයක්. පුද්ගලයන් පස් දෙනෙකු ජීවිත යථාර්ථයට හා මායාවන්ට මුහුණ දෙන සිදුවීම් මාලාවක්.
Jeff Wadlow ගේ අධ්යක්ෂණයක්.
Columbia Pictures,Blumhouse සමාගමේ නිෂ්පාදනයක්. Sony Pictures ආයතනයේ බෙදා හැරීමක්.
ඩොලර් මිලියන 7ක වියදමක් - ලෝකය පුරා තිරගත වීමෙන් ඩොලර් මිලියන 47 කට අධික ආදායමක්
Michael Peña, Maggie Q, Lucy Hale, Austin Stowell, Portia Doubleday, Jimmy O. Yang, Ryan Hansen, Michael Rooker ගේ රංගනයක්.
ප්රධාන දර්ශන - Fijiදූපත්හි Navodo මුහුදු බොක්ක ආශ්රිතව ප්රදේශයේ හා සෙසු දර්ශන - New York and Mississippi ප්රදේශ වල රූගත කිරීමක්.......
මිනිස් ගහණයෙන් තොර රහසිගත දූපතක චාරිකාවකට පැමිණෙන පිරිසකට ඔවුන්ගේ මන:කල්පිතයන්වලට ගමන් කිරීමට මෙම දූපත තුළදී අවස්ථාව හිමි වේ. එක් අයෙකුට - එක් මන:කල්පිතයක් ........
එම මන:කල්පිතයන් තුළ සිදුවන විවිධ සිදුවීම් හා එකිනෙකාගේ මන:කල්පිතයන් අතර සිදුවන ගැටීම් ද චිත්රපටය කුතුහලයෙන් යුතුව ප්රේක්ෂකයා හමුවට ගෙන එයි.....
එකිනෙකාගේ මන:කල්පිතයන් එකිනෙකට වෙනස්ය. ආදරය, වෛරය, අපේක්ෂා, බලාපොරොත්තු , විනෝදය මුසුවූ මන:කල්පිතයන් ජීවිතය යථාර්ථය හා බැඳී ඇත. මනසේ ඔහේ පාවී තිබූ මන:කල්පිතය යථාර්ථවාදී ලෝකයේ අතරමං වී ඇත.
ඔබට ඔබේ මන:කල්පිතය මතකද?
නිසංකා සන්දීපනී
2020-04-30


අරුන්දතී..




අරුන්දතී..
ඉන්නවා ඇති...
වෙසක් සඳට හිනාවෙවී...

පින්බර වූ වෛශාඛ්‍ය මංගල්‍යය...







පුදමු බුදු හිමි පා යුග මනරම්
අසමු ඒ බුදු සමිදු දෙසු සදහම්
සරමු ඒ දම් මාවතේ දැහැමින්
නිවෙමු සැනසෙමු
එතෙර වෙමු සසරින් .......................
ලෝවාසී සියලු සත්වයන්ට සසර කතරින් එතෙර වීමට මාවත විවර කරාවූ බුදුපියාණන් වහන්සේගේ ඉපදීම, බුදු වීම,පිරිනිවන් පෑම යන මංගල කරුණු රැසකින් පූජනීයත්වයට පත් වීම මුල් කර ගනිමින් ලෝකය පුරා සිටින බෞද්ධ - අබෞද්ධ සියලු ජනතාව වෙසක් පෝ දිනය මහත් උත්කර්වෂවත් අන්දමින් සමරනු ලබයි. ඒ දාන, ශීල, භාවනා ආදී ප්රතිපත්ති පූජාවෙන් හා වෙසක් සැරසිලි, තොරණ, වෙසක් බැති ගී ගායනා, වෙසක් දන්සැල් ආදී ආමිස පූජාවෙනි.
වෙසක් යන වචනය සෑදී ඇත්තේ විශාඛ යන සංස්කෘතික වචනයෙනි. දැනට ලංකාවේ ජ්යෝතිෂයේ භාවිත වන නැතක් විසිහතෙන් දහසය වන නැකත වන විසා නැකත පාදක කරගනිමින් මේ නම භාවිත වේ. වෙසක් පෝය යනු සඳ විශාඛ නැකතට අයත් තරු පන්තියට ආසන්නව උදාවන පුන් පෝ දිනයයි. නමුත් සෑම රටක්ම වෙසක් දිනය තීරණය කරන්නේ එකම ආකාරයෙන් නොවේ. තායිලන්තයේ වෙසක් මාසය තීරණය කරනු ලබන ක්රමයට අනුව වෙසක් පෝ දිනය වන විට සඳ විශාඛ නැකතට පැමිණ අවසන්ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙසක් මාසය සමරන්නේ තායිලන්තය වෙසක් සමරන දිනයේය. බොහෝ වර්ෂවල මෙම දින සමපාතව යෙදෙන අතර වසර හයකට වරක් පමණ මෙය වෙනස් වේ.
බෝසතාණෝ සුද්ධෝදන මහ රජතුමා හා මහමායා දේවියගේ පුත්ව කිඹුල්වත් නුවර ලුම්බිණි සල් උයනේ දී උපත ලැබුවේ වෙසක් පුන් පෝ දිනයේය. ලෝකාර්ථය සලසන හෙයින් සිද්ධාර්ථ වූ බෝධිසත්වයෝ සත්පියුම් මත සිට ''මම ලොවට අග්ර වෙමි. මම ලොවට ශ්රේෂ්ඨ වෙමි. මම ලොවට ජ්යෙෂ්ඨ වෙමි. මේ මාගේ අවසාන උපතයි. නැවත උපතක් නැත.'' යනුවෙන් අභීත ස්වරයෙන් සීහ නාදය පැවැත්වුවේය.
අධික කම් සැප විදීම අත්හළ උන්වහන්සේ අත්තකිලමතානුයෝගී අනුගමනය කළසේක. එහි ද නිෂ්ඵලතාව අවබෝධ කරගත් උන්වහන්සේ මැදුම් පිළිවෙත අනුගමනය කර බුද්ධගයාවේ ඇසතු බෝ මුල වැඩසිට වෙසක් පුන් පෝ දා සියලු කෙලෙස් නසා උතුම් වූ බුද්ධත්වයට පත් විය.
සුද්ධෝදන පිය රජුගේ ආරාධනය අනුව විසි දහසක් භික්ෂූන් පිරිවරාගෙන කිඹුල්වත් නුවරට උන්වහන්සේ වැඩම කරන ලද්දේ වෙසක් පෝ දිනයේය. එහිදී තම ඥාතීන් වූ ශාක්යන්ගේ මානය දුරු කරමින් යමාමහ පෙළහර දක්වන ලද්දේ ද පින්බර වෙසක් පුන් පෝ දිනයේය.
කිසා ගෝතමිය විසින් නිබ්බුත පද ගායනා කරමින් බුදුන් වහන්සේගේ ගුණ ගායනා කරන ලද්දේ ද උතුම් වූ වෙසක් පෝ දිනයේය.
මල්ල රජ දරුවන්ගේ උපවර්තන නම් සල් උයනෙහි යමක නම් සාල වෘක්ෂයන් අතරෙහි පනවන ලද ආසනයෙහි හිද භික්ෂූන් අමතා සියලු සංස්කාර ධර්මයන් අනිත්ය හෙයින් අප්රමාදව ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ක්රියා කරන්නැයි දේශනා කර වෙසක් පුන් පෝ දා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ සේක.
දීපංකර බුදුන් වහන්සේ ප්රමුඛ සංඝරත්නය රඹගම් නම් පුරයට වැඩම කරන අවස්ථාවේ පඤ්චාභිඥා සහ අෂ්ඨ සමාපත්තිය උපදවා සිටි සුමේධ තාපසතුමා දීපංකර බුදුන් වහන්සේගෙන් ප්රථම නියත විවරණ ලබන ලද්දේ වෙසක් පෝ දිනයේය.
එසේම අග්ර උපස්ථායක වූ ආනන්ද රහතන් වහන්සේ පිරිනිවන් පෑවේද වෙසක් පෝ දිනයේය.
ලාංකිකයින් වන අපට වඩාත් වැදගත් වන්නේ බුද්ධත්වයෙන් අට වන වර්ෂයේ දී තෙවන වරට මණිඅක්ඛිත නා රජුගේ ඇරයුමෙන් කැලණියට වැඩම කිරීම හා එහිදී සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සිරිපාද පද්මය පිහිටුවා තෙවන වරට ද ලංකාව පුන්ය භුමියක් බවට පත් කිරීමය. එහිදී දිවා ගුහාව, දීඝවාපිය, මුතියංගනය ආදී ස්ථාන දාහතරකට බුදුපියාණන් වහන්සේ වැඩම කළ සේක.
පිරිනිවන් මංචකයේ සැතපී සිටි බුදුන් වහන්සේ ලොව බලද්දී සත්සියක් පිරිස සමඟ ලංකාපුරයට පැමිණෙන විජය කුමරු ඇතුලු පිරිස දුටු බවත් මේ පිරිසට ආක්ෂාව ලබාදෙන ලෙස සක්දෙව් රජුට නියම කළ බව පුරාවෘත්ත වල සඳහන් වේ.
ධර්මාශෝක අධිරාජ්යයා විසින් දෙවන පෑතිස් රජු වෙත එවන ලද පංච කකුධ භාණ්ඩ සහිතව දෙවන වරට අභිෂේක ලබා දීම, දුටුගැමුණු රජු රුවන්වැලි මහා සෑය ඉදිකිරීම් කටයුතු ආර්ම්භ වන්නේද එසේම ශ්රීපාද වන්දනාවේ යෙදෙන අවසාන පෝය වන්නේද මේ වෙසක් පුන් පෝ දිනයයි.
මහා විහාරවංශික භික්ෂූන්ගේ වර්ෂයක් පාසා පවත්වනු ලබන උපසම්පදා මහෝත්සවය ප්රථමවරට පැවැත්වීම ආරම්භ වන්නේ ද මෙම පුන් පෝ දිනයේය.
වෙසක් පෝ දිනයේ දී ප්රත්පත්ති පූජාවට මුල් තැන දෙමින් ලෝකය පුරාම උත්සවාකාරයෙන් සමරනු ලබයි. සියලු ලෝ වාසීන් අතරින් දකුණු ආසියානු හා අග්නිදිග ආසියාතික රටවල් වෙසක් පුන් පෝ දිනය අති උත්කර්ශවත් ලෙස සමරනු ලබයි. ශ්රී ලංකාව, නේපාලය, තායිවානය, හොං කොං, ඉන්දුනීසියාව, වියට්නාමය, තායිලන්තය,සිංගප්පූරුව, මියන්මාර්, මැලේසියාව ආදී ආසියාතික රටවල් මෙම උතුම් දිනය ප්රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් කර ඇත.
යටත් විජිත සමයේ ජාතික නිදහස වෙනුවෙන් සටන් කළ අපේ මුතුන් මිත්තන්ට වෙසක් පෝ දිනය සැමරීම අධිරාජ්යවාදීන් විසින් තහනම් කරන ලදී.
1885 දී ඕල්කට්තුමා ආනන්ද කුමාරස්වාමී ආදී වූ දේශයේ උන්නතිය සඳහා උරදුන් වීරන්ගේ වෑයමෙන් මෙම තහනම ඉවත් තරන ලදී. 1886 දී වෙසක් දිනයේදී බෞද්ධ කොඩිය ප්රදර්ශනය කළ අතර එය රටවල් 60 ක පමණ භාවිත වේ.
1999 වසරේ සිට වෙසක් පුන් පෝ දිනය ජාත්යන්තර නිවාඩු දිනයක් බවට පත්තරන ලද්දේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ හිටපු මහා නායක උඩුගම සද්ධර්ම කීර්ති ශ්රී බුද්ධරක්ඛිත මාහිමියන් වහන්සේගේත්, එවකට හිටපු විදේශ ඇමති වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේත්, එවකට නියෝජ්ය විදේශ ඇමති වූ ලක්මන් කිරිඇල්ල මහතාගේත් මහත් වූ පරිශ්රමයෙනි. මෙවර ජාත්යන්තර වෙසක් සැමරුම රටවල් 80 ක නායකයන්ගේ සහභාගිත්වයෙන් දින තුනක් පුරා පැවැත්වේ.
උක්ත දැක්වූ පරිදි පින්බර වූ වෙසක් පුන් පෝ දිනය ලෝවාසී ජනයාට උතුම් වූ ආගමික පූජනීය දිනයකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර වූ ඓතිහාසික ශාසනික වටිනාකම සිහිපත් කරන දිනයකි. අප විසින් අනුගමනය කළ යුතු මාර්ගය බුදුන් වහන්සේ අපට පෙන්වා දී ඇත. සීලය ,සමාධිය, ප්රඥාව උසස් කිරීමට කටයුතු කළ යුතුය. මනුෂ්ය ජීවිතයේ උසස් ප්රතිඵල ලබා ගැනීමට පිළිවෙතින් සැරසිය යුතුය.
බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ තමන් වහන්සේ පිදිය යුත්තේ මලින්, පහනින් පමණක් නොව ධර්මයට අනුව ජීවත් වීමෙන් බවය. මනස සංවර්ධනය කර ගනිමින් තමන්ගේ ජීවිතය අර්ථවත් ලෙස ධර්මයට අනුව ගත කරන්නේ නම් එය තමන් වහන්සේට වන්දනාමාන කිරීමක් ලෙස බුදුන් වහන්සේ දේශනා කළ සේක. එබැවින් වෙසක් දිනය සැමරීම සිදුවිය යුත්තේ ඒ ආකාරයෙනි.

JALEBI




දන්නවද?
මම කතාවක් කියෙව්වා පොඩි කාලේ,
කතාව තියෙන්නේ කුරුල්ලෝ දෙන්නෙක් ගැන
දෙන්නගෙම ලෝක වෙනස්.
එක් කෙනෙක් අහසට කැමතියි -
අනෙක් කෙනා කූඩුවට
ඒ දෙන්නා ආදරෙන් බැඳුණා..
ගොඩක් ප්රශ්නවලට පස්සේ
එක්කෙනෙක්ට කූඩුවේ ඉන්න බැරුව ගියා
අනෙක් කෙනාට අහසේ ඉගිලෙන්න බැරුව ගියා
ඒත් එයාලගේ ආදරය කවදාවත් අඩු වුණේ නෑ...
😍😍😍😍😍😍😍😍😍😍😍😍
ආදරය කොච්චර ලැබුණත් වැඩක් නෑ එයාලගේ දෛවය විසින් ලියලා තැන්තම්....
JALEBI ඉන්දියාවේ තිරගත වන්නේ 2018 ඔක්තෝබර් 12 වැනිදා. ඒ Pushpdeep Bhardwaj අධ්යක්ෂණයෙන්.
මිනිත්තු 112 ක කාලයක් තුළ ඉන්දියාවේ සංස්කෘතිය....කාන්තාවන්ගේ වෘත්තීය භාවය...අරමුණු ....සාර්ථකත්වයට යන ගමනේ මඟහැරුණු විවාහ ජීවිතය ...සාම්ප්රදායිකත්වය හා නූතනත්වය අතරේ ඝට්ඨනය ....



නිසංකා සන්දීපනී
2020 - 4 - 22

Friday, May 1, 2020 |

නදීර මැක්ස් - සෙල්ලක්කාර මලියා - නිකවැරටියේ සහන්










සමාජ මාධ්ය තුළ ජනපරිය වෙන්න උත්සහ කරන පුංචි ගැටව් තුන්දෙනෙක් - ලයිව් ඇවිත් මන්න පිහියක් මූණට ලංකරලා පරතිවාදියෙක්ට අභියෝග කරන පාසල් ශිෂ්යයන් තිදෙනෙක් - මේ පාසල් ළමුන් තිදෙනෙක් මේවා දැක දැක නෑසණූ කන්ව සිටින වැඩිහිටි පරම්පරාවක් - වඩාම ශෝචනීය තත්ත්වය වන්නේ මෙම වීඩියෝස් පාසල් ගුරුවරුන්ද ශෙයා කර තිබීමයි.

සමාජ මාධ්ය ඔස්සේ ඇති වී ඇති ළමා මනස විකෘති කරන මේ රැල්ලට වගකිව යුත්තෝ කවුද?


ළමයා යනු එක් මිනිස් පරම්පරාවක ආරම්භයයි - ඒ මිනිස් පරම්රාවේ සංකේතයයි - සංස්කෘතියේ නිර්මාණයයි - සමාජයේ ගාමක බලවේගයයි .....


එසේම ළමයා යනු දෙමව්පියන් වෙතින් සෙනෙහස අපේක්ෂා කරන හා දෙමව්පියන්ගේ මෙන්ම සමාජයේ ද රැකවරණයට ලක් විය යුතු සමාජ කුලකයකි ........


පුද්ගල ජීවිතය අවධි ගණනාවකින් සමන්විත වේ. ළමා අවධිය ඒ අතරින් වඩාත් සුවිශේෂී අවධියකි .....


බාහිර පරිසරය සම්බන්ධයෙන් පුද්ගලයා විසින් අත්පත් කරගනු ලබන අවබෝධය ඇතුළුව පුද්ගල ජීවිතයේ සංවර්ධනය උදෙසා අත්යවශ්ය වන සාධක ගණනාවක් සම්පූර්ණ කර ගැනීම සඳහා ළමා අවධිය ගත කළ ස්වරූප වැදගත් වේ.....


1989 වසරේ නොවැම්බර් මස 20 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය විසින් අනුමත කර ගන්නා ලද ළමා අයිතිවාසිකම් පිළිබඳ පරඥප්තියට අනුව වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින් ළමයින් වශයෙන් නිර්වචනය කළ හැකිය.


එසේම නීතිය මඟින් අඩු වයසක දී පරිපූර්ණත්වය ලබන්නේ නම් මිස වයස අවුරුදු 18ට අඩු සියලූ මනුෂ්යයින් ළමුන් වශයෙන් අර්ථකථනය කර ඇත.

ළමා භාවය - ළමාකම, ළමා ස්වරූපය, ළමා ගතිය, ළමා ස්වභාවය හා ළමා තත්ත්වය ආදී වශයෙන් අර්ථ දැක්විය හැකිය. එසේම එය සෑම පුද්ගලයෙකුගේම උපතේ සිට වයස අවුරුදු 18 පමණ වන තෙක් පවත්නා කායික, මානසික හා සමාජයීය සාධකයන්හි අනුකලනයෙන් (Social intergration) සංයුක්ත වන තත්ත්වයක් වශයෙන් ද හඳුන්වා දිය හැකිය.


මේ කෙසේ වුවද අද්යතන සමාජ මාධ්ය කරියාවලිය හේතුවෙන් ළමයා සතුවිය යුතු ළමා භාවය සම්බන්ධයෙන් විවිධ අර්බුද පැන නැඟී ඇත...... එහි බීජාංකුරය නදීර මැක්ස් - සෙල්ලක්කාර මලියා - නිකවැරටියේ සහන් විය හැකිය........ නමුත් එහි අවසානය සමස්ත සමාජයේම ඛේදවාචකයක් විය හැකිය......

කාලානුරූපව සමාජයීය වශයෙන් ළමයා ලැබිය යුතු පරිණතභාවය මෙම කරියාකාරිත්වය ඔස්සේ අවාසනාවන්ත තත්තවයකට පත්ව ඇති බව පෙනේ .....

දෙමාපියන් - වැඩිහිටියන් - අධ්යාපන බලධාරීන් - ළමා ආරක්ෂක සංවිධාන දරුවන් වෙනුවෙන් කරියාත්මක විය යුතු අවස්ථාව මෙයයි ........

අන්තර්ජාල භාවිතයේදී පනවා ඇති නීති දරුවන්ගේ සමාජ මාධ්ය භාවිතය සම්බන්ධයෙන්ද ක්රියාත්මක විය යුතුය.

නමුත් දරුවාට දුරකතනයක් ලබාදී ඔහු සිදු කරන දේ ගැන අවධානයෙන් නොසිටින දෙමව්පියන් ඇති බව පෙනේ - වැඩිහිටියෙකුගේ අනු දැනුමක් නැතුව මෙවැනි දේ සිදු නොවෙන බව දනී - මෙවනි වීඩියෝ වලට ලයික් - කමෙන්ට් - ෂෙයා කරන වැඩිහිටියන් අදුරු කර ඇත්තේ නදීර මැක්ස් - සෙල්ලක්කාර මලියා - නිකවැරටියේ සහන් ගේ අනාගතය නොව ඔබේ දරුවාගේ අනාගතයයි.



නිසංකා සංදීපනී
2020 - 04 - 30