Monday, May 25, 2020 |

Fantasy Island



යථාර්ථය හා මායාව අතර අවකාශයේ ගලා යන සිතුවිලි ධාරාව Fantasy වේ. ජීවිතයේ පැවැත්ම විසින් Fantasy ඉල්ලා සිටී.
එය අවිඥාවික ආශාවන් , සිහින, බලාපොරොත්තු තුළ ජීවිතය දෝලනය වන්නේය.
2020 පෙබරවාරි 14 වැනිදා අමෙරිකාවේදී පළමුවරට තිරගත වූ Fantasy Island අධිස්වභාවික ත්රාසජනක චිත්රපටයක්. පුද්ගලයන් පස් දෙනෙකු ජීවිත යථාර්ථයට හා මායාවන්ට මුහුණ දෙන සිදුවීම් මාලාවක්.
Jeff Wadlow ගේ අධ්යක්ෂණයක්.
Columbia Pictures,Blumhouse සමාගමේ නිෂ්පාදනයක්. Sony Pictures ආයතනයේ බෙදා හැරීමක්.
ඩොලර් මිලියන 7ක වියදමක් - ලෝකය පුරා තිරගත වීමෙන් ඩොලර් මිලියන 47 කට අධික ආදායමක්
Michael Peña, Maggie Q, Lucy Hale, Austin Stowell, Portia Doubleday, Jimmy O. Yang, Ryan Hansen, Michael Rooker ගේ රංගනයක්.
ප්රධාන දර්ශන - Fijiදූපත්හි Navodo මුහුදු බොක්ක ආශ්රිතව ප්රදේශයේ හා සෙසු දර්ශන - New York and Mississippi ප්රදේශ වල රූගත කිරීමක්.......
මිනිස් ගහණයෙන් තොර රහසිගත දූපතක චාරිකාවකට පැමිණෙන පිරිසකට ඔවුන්ගේ මන:කල්පිතයන්වලට ගමන් කිරීමට මෙම දූපත තුළදී අවස්ථාව හිමි වේ. එක් අයෙකුට - එක් මන:කල්පිතයක් ........
එම මන:කල්පිතයන් තුළ සිදුවන විවිධ සිදුවීම් හා එකිනෙකාගේ මන:කල්පිතයන් අතර සිදුවන ගැටීම් ද චිත්රපටය කුතුහලයෙන් යුතුව ප්රේක්ෂකයා හමුවට ගෙන එයි.....
එකිනෙකාගේ මන:කල්පිතයන් එකිනෙකට වෙනස්ය. ආදරය, වෛරය, අපේක්ෂා, බලාපොරොත්තු , විනෝදය මුසුවූ මන:කල්පිතයන් ජීවිතය යථාර්ථය හා බැඳී ඇත. මනසේ ඔහේ පාවී තිබූ මන:කල්පිතය යථාර්ථවාදී ලෝකයේ අතරමං වී ඇත.
ඔබට ඔබේ මන:කල්පිතය මතකද?
නිසංකා සන්දීපනී
2020-04-30


අරුන්දතී..




අරුන්දතී..
ඉන්නවා ඇති...
වෙසක් සඳට හිනාවෙවී...

පින්බර වූ වෛශාඛ්‍ය මංගල්‍යය...







පුදමු බුදු හිමි පා යුග මනරම්
අසමු ඒ බුදු සමිදු දෙසු සදහම්
සරමු ඒ දම් මාවතේ දැහැමින්
නිවෙමු සැනසෙමු
එතෙර වෙමු සසරින් .......................
ලෝවාසී සියලු සත්වයන්ට සසර කතරින් එතෙර වීමට මාවත විවර කරාවූ බුදුපියාණන් වහන්සේගේ ඉපදීම, බුදු වීම,පිරිනිවන් පෑම යන මංගල කරුණු රැසකින් පූජනීයත්වයට පත් වීම මුල් කර ගනිමින් ලෝකය පුරා සිටින බෞද්ධ - අබෞද්ධ සියලු ජනතාව වෙසක් පෝ දිනය මහත් උත්කර්වෂවත් අන්දමින් සමරනු ලබයි. ඒ දාන, ශීල, භාවනා ආදී ප්රතිපත්ති පූජාවෙන් හා වෙසක් සැරසිලි, තොරණ, වෙසක් බැති ගී ගායනා, වෙසක් දන්සැල් ආදී ආමිස පූජාවෙනි.
වෙසක් යන වචනය සෑදී ඇත්තේ විශාඛ යන සංස්කෘතික වචනයෙනි. දැනට ලංකාවේ ජ්යෝතිෂයේ භාවිත වන නැතක් විසිහතෙන් දහසය වන නැකත වන විසා නැකත පාදක කරගනිමින් මේ නම භාවිත වේ. වෙසක් පෝය යනු සඳ විශාඛ නැකතට අයත් තරු පන්තියට ආසන්නව උදාවන පුන් පෝ දිනයයි. නමුත් සෑම රටක්ම වෙසක් දිනය තීරණය කරන්නේ එකම ආකාරයෙන් නොවේ. තායිලන්තයේ වෙසක් මාසය තීරණය කරනු ලබන ක්රමයට අනුව වෙසක් පෝ දිනය වන විට සඳ විශාඛ නැකතට පැමිණ අවසන්ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙසක් මාසය සමරන්නේ තායිලන්තය වෙසක් සමරන දිනයේය. බොහෝ වර්ෂවල මෙම දින සමපාතව යෙදෙන අතර වසර හයකට වරක් පමණ මෙය වෙනස් වේ.
බෝසතාණෝ සුද්ධෝදන මහ රජතුමා හා මහමායා දේවියගේ පුත්ව කිඹුල්වත් නුවර ලුම්බිණි සල් උයනේ දී උපත ලැබුවේ වෙසක් පුන් පෝ දිනයේය. ලෝකාර්ථය සලසන හෙයින් සිද්ධාර්ථ වූ බෝධිසත්වයෝ සත්පියුම් මත සිට ''මම ලොවට අග්ර වෙමි. මම ලොවට ශ්රේෂ්ඨ වෙමි. මම ලොවට ජ්යෙෂ්ඨ වෙමි. මේ මාගේ අවසාන උපතයි. නැවත උපතක් නැත.'' යනුවෙන් අභීත ස්වරයෙන් සීහ නාදය පැවැත්වුවේය.
අධික කම් සැප විදීම අත්හළ උන්වහන්සේ අත්තකිලමතානුයෝගී අනුගමනය කළසේක. එහි ද නිෂ්ඵලතාව අවබෝධ කරගත් උන්වහන්සේ මැදුම් පිළිවෙත අනුගමනය කර බුද්ධගයාවේ ඇසතු බෝ මුල වැඩසිට වෙසක් පුන් පෝ දා සියලු කෙලෙස් නසා උතුම් වූ බුද්ධත්වයට පත් විය.
සුද්ධෝදන පිය රජුගේ ආරාධනය අනුව විසි දහසක් භික්ෂූන් පිරිවරාගෙන කිඹුල්වත් නුවරට උන්වහන්සේ වැඩම කරන ලද්දේ වෙසක් පෝ දිනයේය. එහිදී තම ඥාතීන් වූ ශාක්යන්ගේ මානය දුරු කරමින් යමාමහ පෙළහර දක්වන ලද්දේ ද පින්බර වෙසක් පුන් පෝ දිනයේය.
කිසා ගෝතමිය විසින් නිබ්බුත පද ගායනා කරමින් බුදුන් වහන්සේගේ ගුණ ගායනා කරන ලද්දේ ද උතුම් වූ වෙසක් පෝ දිනයේය.
මල්ල රජ දරුවන්ගේ උපවර්තන නම් සල් උයනෙහි යමක නම් සාල වෘක්ෂයන් අතරෙහි පනවන ලද ආසනයෙහි හිද භික්ෂූන් අමතා සියලු සංස්කාර ධර්මයන් අනිත්ය හෙයින් අප්රමාදව ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ක්රියා කරන්නැයි දේශනා කර වෙසක් පුන් පෝ දා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ සේක.
දීපංකර බුදුන් වහන්සේ ප්රමුඛ සංඝරත්නය රඹගම් නම් පුරයට වැඩම කරන අවස්ථාවේ පඤ්චාභිඥා සහ අෂ්ඨ සමාපත්තිය උපදවා සිටි සුමේධ තාපසතුමා දීපංකර බුදුන් වහන්සේගෙන් ප්රථම නියත විවරණ ලබන ලද්දේ වෙසක් පෝ දිනයේය.
එසේම අග්ර උපස්ථායක වූ ආනන්ද රහතන් වහන්සේ පිරිනිවන් පෑවේද වෙසක් පෝ දිනයේය.
ලාංකිකයින් වන අපට වඩාත් වැදගත් වන්නේ බුද්ධත්වයෙන් අට වන වර්ෂයේ දී තෙවන වරට මණිඅක්ඛිත නා රජුගේ ඇරයුමෙන් කැලණියට වැඩම කිරීම හා එහිදී සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සිරිපාද පද්මය පිහිටුවා තෙවන වරට ද ලංකාව පුන්ය භුමියක් බවට පත් කිරීමය. එහිදී දිවා ගුහාව, දීඝවාපිය, මුතියංගනය ආදී ස්ථාන දාහතරකට බුදුපියාණන් වහන්සේ වැඩම කළ සේක.
පිරිනිවන් මංචකයේ සැතපී සිටි බුදුන් වහන්සේ ලොව බලද්දී සත්සියක් පිරිස සමඟ ලංකාපුරයට පැමිණෙන විජය කුමරු ඇතුලු පිරිස දුටු බවත් මේ පිරිසට ආක්ෂාව ලබාදෙන ලෙස සක්දෙව් රජුට නියම කළ බව පුරාවෘත්ත වල සඳහන් වේ.
ධර්මාශෝක අධිරාජ්යයා විසින් දෙවන පෑතිස් රජු වෙත එවන ලද පංච කකුධ භාණ්ඩ සහිතව දෙවන වරට අභිෂේක ලබා දීම, දුටුගැමුණු රජු රුවන්වැලි මහා සෑය ඉදිකිරීම් කටයුතු ආර්ම්භ වන්නේද එසේම ශ්රීපාද වන්දනාවේ යෙදෙන අවසාන පෝය වන්නේද මේ වෙසක් පුන් පෝ දිනයයි.
මහා විහාරවංශික භික්ෂූන්ගේ වර්ෂයක් පාසා පවත්වනු ලබන උපසම්පදා මහෝත්සවය ප්රථමවරට පැවැත්වීම ආරම්භ වන්නේ ද මෙම පුන් පෝ දිනයේය.
වෙසක් පෝ දිනයේ දී ප්රත්පත්ති පූජාවට මුල් තැන දෙමින් ලෝකය පුරාම උත්සවාකාරයෙන් සමරනු ලබයි. සියලු ලෝ වාසීන් අතරින් දකුණු ආසියානු හා අග්නිදිග ආසියාතික රටවල් වෙසක් පුන් පෝ දිනය අති උත්කර්ශවත් ලෙස සමරනු ලබයි. ශ්රී ලංකාව, නේපාලය, තායිවානය, හොං කොං, ඉන්දුනීසියාව, වියට්නාමය, තායිලන්තය,සිංගප්පූරුව, මියන්මාර්, මැලේසියාව ආදී ආසියාතික රටවල් මෙම උතුම් දිනය ප්රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් කර ඇත.
යටත් විජිත සමයේ ජාතික නිදහස වෙනුවෙන් සටන් කළ අපේ මුතුන් මිත්තන්ට වෙසක් පෝ දිනය සැමරීම අධිරාජ්යවාදීන් විසින් තහනම් කරන ලදී.
1885 දී ඕල්කට්තුමා ආනන්ද කුමාරස්වාමී ආදී වූ දේශයේ උන්නතිය සඳහා උරදුන් වීරන්ගේ වෑයමෙන් මෙම තහනම ඉවත් තරන ලදී. 1886 දී වෙසක් දිනයේදී බෞද්ධ කොඩිය ප්රදර්ශනය කළ අතර එය රටවල් 60 ක පමණ භාවිත වේ.
1999 වසරේ සිට වෙසක් පුන් පෝ දිනය ජාත්යන්තර නිවාඩු දිනයක් බවට පත්තරන ලද්දේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ හිටපු මහා නායක උඩුගම සද්ධර්ම කීර්ති ශ්රී බුද්ධරක්ඛිත මාහිමියන් වහන්සේගේත්, එවකට හිටපු විදේශ ඇමති වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේත්, එවකට නියෝජ්ය විදේශ ඇමති වූ ලක්මන් කිරිඇල්ල මහතාගේත් මහත් වූ පරිශ්රමයෙනි. මෙවර ජාත්යන්තර වෙසක් සැමරුම රටවල් 80 ක නායකයන්ගේ සහභාගිත්වයෙන් දින තුනක් පුරා පැවැත්වේ.
උක්ත දැක්වූ පරිදි පින්බර වූ වෙසක් පුන් පෝ දිනය ලෝවාසී ජනයාට උතුම් වූ ආගමික පූජනීය දිනයකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර වූ ඓතිහාසික ශාසනික වටිනාකම සිහිපත් කරන දිනයකි. අප විසින් අනුගමනය කළ යුතු මාර්ගය බුදුන් වහන්සේ අපට පෙන්වා දී ඇත. සීලය ,සමාධිය, ප්රඥාව උසස් කිරීමට කටයුතු කළ යුතුය. මනුෂ්ය ජීවිතයේ උසස් ප්රතිඵල ලබා ගැනීමට පිළිවෙතින් සැරසිය යුතුය.
බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ තමන් වහන්සේ පිදිය යුත්තේ මලින්, පහනින් පමණක් නොව ධර්මයට අනුව ජීවත් වීමෙන් බවය. මනස සංවර්ධනය කර ගනිමින් තමන්ගේ ජීවිතය අර්ථවත් ලෙස ධර්මයට අනුව ගත කරන්නේ නම් එය තමන් වහන්සේට වන්දනාමාන කිරීමක් ලෙස බුදුන් වහන්සේ දේශනා කළ සේක. එබැවින් වෙසක් දිනය සැමරීම සිදුවිය යුත්තේ ඒ ආකාරයෙනි.

JALEBI




දන්නවද?
මම කතාවක් කියෙව්වා පොඩි කාලේ,
කතාව තියෙන්නේ කුරුල්ලෝ දෙන්නෙක් ගැන
දෙන්නගෙම ලෝක වෙනස්.
එක් කෙනෙක් අහසට කැමතියි -
අනෙක් කෙනා කූඩුවට
ඒ දෙන්නා ආදරෙන් බැඳුණා..
ගොඩක් ප්රශ්නවලට පස්සේ
එක්කෙනෙක්ට කූඩුවේ ඉන්න බැරුව ගියා
අනෙක් කෙනාට අහසේ ඉගිලෙන්න බැරුව ගියා
ඒත් එයාලගේ ආදරය කවදාවත් අඩු වුණේ නෑ...
😍😍😍😍😍😍😍😍😍😍😍😍
ආදරය කොච්චර ලැබුණත් වැඩක් නෑ එයාලගේ දෛවය විසින් ලියලා තැන්තම්....
JALEBI ඉන්දියාවේ තිරගත වන්නේ 2018 ඔක්තෝබර් 12 වැනිදා. ඒ Pushpdeep Bhardwaj අධ්යක්ෂණයෙන්.
මිනිත්තු 112 ක කාලයක් තුළ ඉන්දියාවේ සංස්කෘතිය....කාන්තාවන්ගේ වෘත්තීය භාවය...අරමුණු ....සාර්ථකත්වයට යන ගමනේ මඟහැරුණු විවාහ ජීවිතය ...සාම්ප්රදායිකත්වය හා නූතනත්වය අතරේ ඝට්ඨනය ....



නිසංකා සන්දීපනී
2020 - 4 - 22

Friday, May 1, 2020 |

නදීර මැක්ස් - සෙල්ලක්කාර මලියා - නිකවැරටියේ සහන්










සමාජ මාධ්ය තුළ ජනපරිය වෙන්න උත්සහ කරන පුංචි ගැටව් තුන්දෙනෙක් - ලයිව් ඇවිත් මන්න පිහියක් මූණට ලංකරලා පරතිවාදියෙක්ට අභියෝග කරන පාසල් ශිෂ්යයන් තිදෙනෙක් - මේ පාසල් ළමුන් තිදෙනෙක් මේවා දැක දැක නෑසණූ කන්ව සිටින වැඩිහිටි පරම්පරාවක් - වඩාම ශෝචනීය තත්ත්වය වන්නේ මෙම වීඩියෝස් පාසල් ගුරුවරුන්ද ශෙයා කර තිබීමයි.

සමාජ මාධ්ය ඔස්සේ ඇති වී ඇති ළමා මනස විකෘති කරන මේ රැල්ලට වගකිව යුත්තෝ කවුද?


ළමයා යනු එක් මිනිස් පරම්පරාවක ආරම්භයයි - ඒ මිනිස් පරම්රාවේ සංකේතයයි - සංස්කෘතියේ නිර්මාණයයි - සමාජයේ ගාමක බලවේගයයි .....


එසේම ළමයා යනු දෙමව්පියන් වෙතින් සෙනෙහස අපේක්ෂා කරන හා දෙමව්පියන්ගේ මෙන්ම සමාජයේ ද රැකවරණයට ලක් විය යුතු සමාජ කුලකයකි ........


පුද්ගල ජීවිතය අවධි ගණනාවකින් සමන්විත වේ. ළමා අවධිය ඒ අතරින් වඩාත් සුවිශේෂී අවධියකි .....


බාහිර පරිසරය සම්බන්ධයෙන් පුද්ගලයා විසින් අත්පත් කරගනු ලබන අවබෝධය ඇතුළුව පුද්ගල ජීවිතයේ සංවර්ධනය උදෙසා අත්යවශ්ය වන සාධක ගණනාවක් සම්පූර්ණ කර ගැනීම සඳහා ළමා අවධිය ගත කළ ස්වරූප වැදගත් වේ.....


1989 වසරේ නොවැම්බර් මස 20 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය විසින් අනුමත කර ගන්නා ලද ළමා අයිතිවාසිකම් පිළිබඳ පරඥප්තියට අනුව වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින් ළමයින් වශයෙන් නිර්වචනය කළ හැකිය.


එසේම නීතිය මඟින් අඩු වයසක දී පරිපූර්ණත්වය ලබන්නේ නම් මිස වයස අවුරුදු 18ට අඩු සියලූ මනුෂ්යයින් ළමුන් වශයෙන් අර්ථකථනය කර ඇත.

ළමා භාවය - ළමාකම, ළමා ස්වරූපය, ළමා ගතිය, ළමා ස්වභාවය හා ළමා තත්ත්වය ආදී වශයෙන් අර්ථ දැක්විය හැකිය. එසේම එය සෑම පුද්ගලයෙකුගේම උපතේ සිට වයස අවුරුදු 18 පමණ වන තෙක් පවත්නා කායික, මානසික හා සමාජයීය සාධකයන්හි අනුකලනයෙන් (Social intergration) සංයුක්ත වන තත්ත්වයක් වශයෙන් ද හඳුන්වා දිය හැකිය.


මේ කෙසේ වුවද අද්යතන සමාජ මාධ්ය කරියාවලිය හේතුවෙන් ළමයා සතුවිය යුතු ළමා භාවය සම්බන්ධයෙන් විවිධ අර්බුද පැන නැඟී ඇත...... එහි බීජාංකුරය නදීර මැක්ස් - සෙල්ලක්කාර මලියා - නිකවැරටියේ සහන් විය හැකිය........ නමුත් එහි අවසානය සමස්ත සමාජයේම ඛේදවාචකයක් විය හැකිය......

කාලානුරූපව සමාජයීය වශයෙන් ළමයා ලැබිය යුතු පරිණතභාවය මෙම කරියාකාරිත්වය ඔස්සේ අවාසනාවන්ත තත්තවයකට පත්ව ඇති බව පෙනේ .....

දෙමාපියන් - වැඩිහිටියන් - අධ්යාපන බලධාරීන් - ළමා ආරක්ෂක සංවිධාන දරුවන් වෙනුවෙන් කරියාත්මක විය යුතු අවස්ථාව මෙයයි ........

අන්තර්ජාල භාවිතයේදී පනවා ඇති නීති දරුවන්ගේ සමාජ මාධ්ය භාවිතය සම්බන්ධයෙන්ද ක්රියාත්මක විය යුතුය.

නමුත් දරුවාට දුරකතනයක් ලබාදී ඔහු සිදු කරන දේ ගැන අවධානයෙන් නොසිටින දෙමව්පියන් ඇති බව පෙනේ - වැඩිහිටියෙකුගේ අනු දැනුමක් නැතුව මෙවැනි දේ සිදු නොවෙන බව දනී - මෙවනි වීඩියෝ වලට ලයික් - කමෙන්ට් - ෂෙයා කරන වැඩිහිටියන් අදුරු කර ඇත්තේ නදීර මැක්ස් - සෙල්ලක්කාර මලියා - නිකවැරටියේ සහන් ගේ අනාගතය නොව ඔබේ දරුවාගේ අනාගතයයි.



නිසංකා සංදීපනී
2020 - 04 - 30
Monday, September 23, 2019 |

ඉර වර වර



“පණ ඇත්තේ මිනිසුන්ට පමණක් නොවෙයි. ගස්, වැල්, මල්, කොළ, දලූ, ඇළ දොළ මේ හැම දේකටම පණ තිබේ. මහ පොළවට පණ ඇති බවත් මහ පොළොව ජීවියකු බවත් ඒ නිසාම මහ පොළොවට නොරිදවිය යුතු බවත් අපේ කිරි අත්තා මට නිතරම කියා දුන් කතාවකි. ඒ නිසා ගහ කොළට ජීවත්වීමේ අයිතිය කිසිවකුට උදුරාගත හැකි නොවේ”
ගාමිණී කන්දේපොළ මහතාගේ 'ඉර වර වර' නවකතාව පරිසරයට සංවේදී මානව ජීවිත පාඨකයාට සමීප කරවමින් නිර්මාණය කරන ලද නිර්මාණයකි. ජීවයේ උල්පත පරිසරයයි. ඇළ දොළ ගංගා තුරු ලතා සතුන් සියල්ල සමඟ පවත්තා සම්බන්ධය ආදී මානවයාගේ පටන් පැවත එන්නකි. මිනිසාට හා පරිසරයට එකිනෙකාගෙන් වියුක්ත සම්බන්ධයක් පවත්වා ගැනීමට අපහසුය. නමුත් මිනිසා සොබා දහම සමඟ ඇති කරගන්නා අන්තර් ක්රියාවේදී සොබා දහම අභිබවා යාම මිනිසා විනාශය කරා ගෙනයයි.
'ඉර වර වර' නවකතාවේ දී අපට හමුවන බණ්ඩත්තා, ජයවීර, මද්දු , තලෙළු, සුරංග, අමරසිංහ, විද්දියා මහත්තයා, මන්ත්රීතුමා, ලොක්කයියා, රංකිරා, මිනින්දෝරු මහත්තයා, පන්සලේ හාමුදුරුවෝ සියලු දෙනා පරිසරය සමඟ ඇති කරගන්නා සම්බන්ධ අනුව ඔවුගේ ජීවිත හැඩගැසුණු ආකාරය මනාව නිරූපණය කරයි. බණ්ඩත්තා, මද්දු, තලෙළු වැන්නන් පරිසරය තම ජීවිතය කරගෙන ජීවත් වූහ. එහෙත් විද්දියා මහත්තයා, ජයවීර වැනි පරිසරයට එරෙහි වූවන්ට හාත්පසින්ම වෙනත් විපාක අත්විදින්නට ලබා දෙමින් මානව සමාජයට පණිවිඩයක් ලබා දීමට සමර්ථ වී ඇත.
ගම්මැණ්ඩිය. මහ වැව්, මහ ඇළ, මහ මූකලාන,යකඩ පාලම, වවුල් ගහ, එක යටේ මහ ගෙදර, ගල්පර, පලු ගස්, උල්පත, කින්නරගල, ගල්පර, කඩමැණ්ඩිය නව කතාව පුරා ගැමි සුන්දරත්වය නිරූපණය කිරීමට සමත්ව ඇත.
“ඔබ වහන්සේ මේ ව්යාපෘතියට කැමති නැද්ද? ”
විද්දියා මහත්තයාගේ පුතා ලොකු හාමුදුරුවන්ගෙන් ඍජුවම පරශ්න නැ`ගීම ගැන උන්වහන්සේ කැමැත්තක් තිබුණි.
“මගෙ කැමැත්ත අකමැත්ත විමසලා වැඩක් නෑ. විමසන්න ඕනෙ, ස්වභාව ධර්මයේ කැමැත්ත අකමැත්ත”
ලොකු හාමුදුරුවන් කී දෙයට උත්තර දෙන්නේ කෙසේ දැයි කිහිපවිටක්ම සිතා බැලූවත් විද්දියා මහත්තයාගේ පුතාට ඊට පිළිතුරු දීමට ඒ වෙලාවේ නොහැකි විය.
”කුමක්ද ස්වභාව ධර්මයාගේ කැමැත්ත”
කාර්මීකරණය, ගෝලීයකරණය, නවීකරණය හමුවේ විද්යාව සහ තාක්ෂණයේ වර්ධනයක් සිදු වූ අතර මානව ශක්තීන් ඉහළ යාම හේතුවෙන් මිනිසා තවදුරටත් ස්වභාවික පරිසරය වැදගත් සාධකයක් නොවුණි.
තවදුරටත් මානවයා සහ ස්වභාවික පරිසරය සමඟ පවතින අන්යෝන්ය බැදීම දියාරු බැඳීමක් විය. නමුත් මිනිසාට මෙන්ම සතා සීපාවාට මිහිමත වාසය කිරීමට අයිතියක් ඇත. එය ස්වභාව ධර්මයේ නිමයයයි.
‘මිත්යාj’ යන වචනය ජයවීරට හරියටම මුලින් තේරුනේ නැත. ඒත් එය තේරුම් ගන්නට ඔහු මහන්සි ගත්තේය. ගැමියන් බොරු වළක වැටී ඒ වල වටේම කර කැවෙමින් එහිම කා බී මියයන බවය විද්දියා මහත්තයා නිතරම කීවේ. ඔහු කියන දේ ඇත්ත නේදැයි ජයවීරට වැටහුණේ දහදිය පෙරමින් තට්ට පොළව සම`ග ඔට්ටු වන විටය.
විද්දියා මහත්තයාගේ ඒ කතාව මොනතරම් ඇත්තක්ද? ඔහුම කියනා පරිදි අප සියලූ දෙනා පවතින්නේ ආහාර දාමයක් මතය. ඔහු කරන පැහැදිලි කිරීම් මොන තරම් සරලද? එක පැත්තකින්, අනෙක් පැත්තෙන් මොන තරම් ගැඹුරුද? තිරිසන් සත්ව ලෝකය පුරා මෙන්ම මිනිස් ලෝකය පුරාද ඇත්තේ නොනවතින දඩයමක් බවය ඔහු කියන්නේ. කුඩාම කුඩා පළගැටියාගේ පටන් කොටියා වලහා දක්වාම කරන්නේ තමන්ගේ ආහාරය ස`දහා සතෙකු ගොදුරු කර ගැනීම නේද? ඒ කරමය කිසිවකුට වෙනස් කළ නොහැකිය. මිනිසා වුවද සතෙකු දඩයම් කරන්නේ කුස පුරවා ගැනීමටය. එක සතෙකු දඩයම් කළද තව කොපමණ සතුන් අලුතින් බිහිවනු ඇද්ද?
විද්යාව සහ මිත්යාව අතර දෝලනය වන චරිත ද්විත්වයක් ලෙස විද්දියා මහත්තයාත්, ජයවීරත් නවකතාවේදී අපට හමුවන අතර සොබාදහමට එරෙහි වීමෙන් දෙදෙනාටම විපාක විදින්නට සිදු වේ.
ගොවිතැන - බත, හරකා - බාන, බේත- හේත ද පමණක් නොව දර කෝටුව පවා සොයා සපයා ගන්නේ මේ කැලෑවට පින් සිද්ධ වෙන්න නේද? අවසානයේ මළකුණ පවා ගෙනැත් දමන්නේ මේ කැලෑවට නේද? දෙයියනේ කියා කටපුරා හිත පුරා හුස්ම පොදක් ගන්නේත් මේ කැලෑව නිසා නේදැයි බණ්ඩත්තාට සිතුණේය. තමන් මේ සිතන්නේ මහ කැලෑවට පැමිණ හැමදාම සිතන ටික නේදැයි ඔහුට පසුව කල්පනාවට ආවත් ඒ සිතීමේ වරදක් පෙනුණේ නැත. ඔහු පෙනහළු පමණක් නොව නාස් පුඩුද පුම්බා මහ කැලෑවේ හුස්ම තමාගේ සිරුරෙහි පුරවා ගත්තේය. ඉනික්බිති තම සිරුර තුළ තිබූ හුස්ම පොදක් හැ`ගීම් රාශියක් ද සම`ග මහ කැලෑවට මුදා හැරියේය. මහ කැලෑව කළේ ඒ සියල්ල බාරගෙන මඳ සුළගේ පාරමින් තුරු පත් අතර තැනින් තැන රැඳ වීමය. බණ්ඩත්තා පමණක් නොව ගම්මැණ්ඩියේ සියල්ලන්ම පාහේ එසේ හෙලූ සුසුම්, හැ`ගුම් හා කියුම් කෙරුම් මේ මහ කැලෑවේ තුරු පත් අතර මොනතරම් සැ`ගවී ඇද්දැයි සිහිකරන්නට මෙන් ඔහු යළිත් ඈත නිල්ල දෙස ඇසිපිය නොහෙළා බලා සිටියේය.
නව කතාව පුරාම පරිසරයට දැඩි ලෙස ඇලුම් කරමින් ජීවත් වූ බණ්ඩත්තා තම මුණුපුරා පරිසරයට සමීප කරවීමට හැකිවීම නිසා ඇති වන සතුටත්, මද්දු නගරයට යෑමත්, තම පුතා සොබා දහමට එරෙහිව ගෙන යන ජීවිතයත් නිසා ඇති වූ පසුතැවීමත්, එක යටේ මහගෙදර විනාශ වීමත් නිසා තැවෙමින් දැවෙම්න් ජීවත් වූ අයෙක් ලෙස පාඨකයාට සමීප කරවයි.
කුඩා කල සිට මද්දුත්, තලෙළුත් අතර ඇති වන්නා වූ සෙනෙහස, ප්රේමය මද්දුගේ වෙන් වීම නිසා ඇති වූ විප්රයෝගය, තලෙළුට මිනින්දෝරු මහත්තා අතින් සිදු වන අපයෝජනය නිසා අංගවිකල දරුවෙකු සමඟ තනිවීමට සිදු වීමත්, අමරසිංහ තුළ ඇති වන අනුකම්පාවත් නිරූපණය කරන්නේ මානව හැඟීම් , දැනීම්, බැඳීම් සමඟ කතාව පාඨකයාට සමීප කරවමිනි.
ජන සංඛ්යාවේ ශීඝර වර්ධන වේගයට හා ආහාර හි`ගයට පිළියම් සෙවීමට කෘෂිකාර්මික ක්ෂ්තරයේ විප්ලවීය වෙනසක් සඳහා කෙටි කාලීන සහ දීර්ඝ කාලීන විසඳුම් ලෙස ඔවුන් ඉදිරිපත් කරන යෝජනා දේශපාලන ප්රවාහයේ දුර්වලතා ලෙස පෙන්නුම් කරන අතර ඒ නිසා සමස්ථ සමාජ වපසරියම වෙනසකට ලක්වූ අයුරුත් පරිසරයට සිදු වූ අගතිය නිසා මිනිසාට අත් විදින්නට සිදුවන භයානක තත්ත්වය ගැන ඉදිරිපත් කරන්නේ අනාගතයට පණිවිඩයක් ලබාදෙමිනි.
ජයවීර තැනින් තැන උඩින් පල්ලෙන් කියවූ මද්දුගේ රචනාවට අනුව ‘මිනිසා සහ පරිසරය ගහට පොත්ත මෙන් එකිනෙකට බැඳී පවතින්නකි. මේ කිසිවකුට එකිනෙකාගෙන් තොර පැවැත්මක් නැත. ගහ කොළ ඇළ දොළ සතා සීපාවාගෙන් තොරව මිනිසාට පැවැත්මක් කොහිද?
මිනිසා හා පරිසරය සමඟ ඇති වන බැඳම විස්මිතය. එය එකිනෙකා මත යැපෙමින් ඇති වන්නා වූ අවියෝජනීය බැඳීමකි. එකිනෙකා අභිබවා යාම අගතිය කරා ගෙනයාමකි. එකී විස්මිත වූ බැඳීම නිරූපිත කරන්නා නිර්මාණයකි 'ඉර වර වර' නවකතාව.
සටහන
නිසංකා සන්දීපනී
2019-09-22
Tuesday, September 25, 2018 |

මට විතරද?











මේ තනිකම

දැනෙනෙනේ මට විතරද?

මහා හිස්කමක් ජීවිතය වෙලාගෙන වගේ
දැනෙනෙනේ මට විතරද?

සෙනෙහස හොරු අරන් ගිය කරුමය
දැනෙන්නේ මට විතරද?


මමම විතරද?
මටම විතරද?
දැනෙන්නේ හැම දේම ......
හැමදාම


2018 - 9 - 25
නිසංකා සන්දීපනී