ආගමික සහ ශාසනික සිදුවීම් රැසක් සිදුවූ වැදගත් පෝ දිනයක් ලෙස ඇසළ පුන් පොහෝ දිනය හැඳින්විය හැකිය. වෙසක් හා පොසොන් පෝයට සමානම වැදගත් කමක් ඇති පෝ දිනකි. බුදු සිරිතේ උතුමු වූ මංගල කාරණා කිහිපයක් සිදු වූ උතුම් දිනයකි.
බෝසත් කුමරුන් කාලය, දීපය, දේශය, කුලය සහ මව යන පස්මහ බැලුම් බැලීමෙන් පසු දඹදිව කපිලවස්තුපුරයේ සුද්ධෝන රජුගේ බිසව් වූ මහමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම සිදුවන්නේ පිනිබර ඇසල පෝදිනයේය. සුදු නෙළුම් මලක් සොඬින් ගත් සුදු ඇත් පැටවෙක් මහමායා දේවියගේ යහන වටේ තෙවරක් පැදකුණු කොට වම් ඇකයෙන් කුසට පිවිසෙනු ඇය සිහිනෙන් දුටුවාය. ඒ පින්වත් දරු උපතක පෙර නිමිති විය.
අභිනිෂ්ක්‍රමණය හා රාහුල කුමරුගේ උපත යන මංගල කාරණා ද්විත්වයම ඇසළ පෝ දිනයේ සිදුවන්නේය. එකුත් තිස්වියේදී සතර පෙරනිමිති දැකීමෙන් ගිහි ජීවිකාව පිළිබඳ කලකිරීම ඇතිවී සසරෙන් මිදීම සඳහා සත්‍යය ගවේෂණය කොට නිවස් මග හෙළි කරගන්නට කන්තක අසු පිට නැගී ඡන්න ඇමති සමඟ සියලු ගිහි සැප අත්හැර ධරර්ම අවබෝධය පිණිස නිත්ම යාම සිදුවන්නේ ද ඇසළ පෝ දිනයේය.
වෙසක් පුන් පෝදා බුද්ධත්වයට පත් වීමෙන් අවබෝධ කරගත් ධර්මය පළමුව අළාර කාළාම හා උද්දකරාම තවුසන් ට දේශනා කිරීමට සූදානම් වුවත් ඔවුන් ඊට පෙර දින මියගොස් ඇති බව දුටු බුදුන් වහන්සේ , දුෂකරක්‍රියා කරන සමයේ තමන්ට ඇප උපස්ථාන කළ පස්වග තවුසන්ට ඉසිපතනයේ මිගදායේදී මෝහන්ධකාරය දුරු කරමින් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූයේ මෙම පෝ දිනයේය.
හේතු ඵල වාදය මුල්කර මධ්‍යම ප්‍රතිපදාව ඇතුළත් උතුම් බෞද්ධ දර්ශනය දම්සක් පැවතුම් සුතුර ලෙසින් දෙසා, වදාළ නිසා උතුම් බුදුදහම ලොව පහළ වූ දිනය වන්නේ ඇසළ පෝ දිනයයි.
සකල ලෝ වැස්සන්ගේ හිතසුව පිණිස වසර හතළිස් පහක් පුරා පැවැති බුදු හිමිගේ සදහම් චාරිකාව මෙසේ ආරම්භ වූයේ ඇසළ පෝය දිනයකදී ය.
බුද්ධත්වයෙන් පසු පළමු වස් වැසීම සිදු වන්නේද ඇසළ පුන් පෝ දිනයේය. බුදුන් වහන්සේ වෙත ලැබෙන පුද සත්කාර නිසා ඊර්ෂියාවට පත් අන්‍යාගමික තීර්තකයන්ගේ මානය බිඳ හෙළීමට සැවත් නුවර දී යමා මහා පෙළහර පා වදාළේ ඇසළ පෝ දිනයේය.
සිදුහත් කුමරුගේ උපතින් සත් වන දින මරණයට පත්ව තව්තිසා දෙව් ලොව උපන් මාතෘ දිව්‍ය පුත්‍රයා ඇතුළු සමූහයට අභිධර්මය දේශනා කරන ලද්දේ ඇසළ පෝ දිනයේය.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසුව සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර ප්‍රකාශය නිසා මහාකාශ්‍යප තෙරුන්ගේ මූලිකත්වයෙන් අජාසත් රජුගේ රාජ අනුග්‍රහයෙන් පන්සියයක් මහ රහතුන් වහන්සේලා එක්ව ශාසනයේ සිදු කරන ලද ප්‍රථම ධර්ම සංඝායනාව පවත්වන ලද්දේ මෙම පෝ දිනයේය.
එසේම දුටුගැමුණු රජු විසින් රුවන්වැලි මහා සෑයේ මුල්ගල පිහිටවීම හා රුවන්වැලි මහා සෑයේ ධාතු නිධන් කිරීම සිදු වන්නේ ඇසළ පෝ දිනයකදීය.
බුද්ධ වර්ෂ 236 දී මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන සංඝරත්නය විසින් ප්‍රථම ‘ඛණ්ඩ සීමාව’ සම්මත කරන ලද්දේත්, අරිෂ්ඨ කුමරු ප්‍රධාන පිරිස මහණ උපසම්පදාව ලබාගන්නේත් ඇසළ පුර පසළොස්වක දිනකදීය.
ලාංකේය රාජ්‍යත්වයේ සංකේතය වන දළදා වහන්සේ දන්ත කුමරු හා හේමමාලා කුමරිය විසින් කිත්සිරිමෙවන් රජ දවස ලක්දිවට වැඩම කරන ලද්දේ මේ පින්බර පෝ දිනයේය.
ලාංකිකයන්ට බෞද්ධයන්ට විශේෂ යෙන් මෙම පොහොය වැදගත් වන්නේ කීර්ති ශ්‍රී රාජසිහ රජතුමා සියම් රටින් ගෙන්වන ලද භික්ෂූන් වහන්සේලා විසින් මෙරට උපසම්පදා නැවත ඇති කරමින් භික්ෂු සාසනයේ චිර පැවැත්මට අවැසි ආගමික හා සමාජීය වපසරිය නිර්මාණය වීමයි.
මහනුවර, කතරගම, රත්නපුර, දෙවිනුවර, අලුත්නුවර සහ ඇම්බැනක්කේ ඇසළ පෙරහැර වාර්ෂිකව පවත්වනු ලබන්නේ ඇසළ පෝ දිනයේය.
උක්ත මංගල කරුණු මුල් කරගනිමින් බෞද්ධයන් විසින් පින්බර වූ ඇසළ මංගල්‍ය සමරණු ලබයි.
0 comments:
Post a Comment